keheliya-flower-case

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවස ඉදිරිපිට මල් වඩම් තබමින් සාපරධී බිය ගැන්වීමක් කළැයි කියන වෛද්‍යවරුන් හා සිවිල් ක්‍රියාකාරින් සම්බන්ධව පුළුල් විමර්ශනයක් කරන බව කුරුඳුවත්ත පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට ඊයේ (08දා) දැනුම් දුන්නේය.



ජනවාරි පළමුවැනිදා අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවස ඉදිරිපිට මල් වඩම් තබන අයුරු විකාශනය කළ ප්‍රධාන පෙළේ මාධ්‍යවල දර්ශන සහ මාර්ගයේ හා ඒ අවට ප්‍රදේශයේ ඇති සී.සී.ටී.වී. දර්ශන විශ්ලේෂණය කරමින් කරුණු අනාවරණය කර ගැනීමට විමර්ශන කරන බවද කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන හිරුණිකා රඹුක්වැල්ල මහත්මිය කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලීසිය දැනුම් දුන්නේය.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන හිරුණිකා රඹුක්වැල්ල මහත්මිය පැමිණිල්ලක් කරමින් පසුගිය ජනවාරි පළමුවැනිදා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති චමල් සංජය සහ 'මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත යන පුද්ගලයන් ඇතුළු පිරිසක් තමන් පදිංචි වී සිටින, අමාත්‍යවරයකු වන තම පියාට රජයෙන් ලබාදී ඇති නිල නිවස ඉදිරිපිට මල් වඩමක් තබමින් සපරාධී බිය ගැන්වීමක් හා අපහාසයක් කර ඇතැයි සඳහන් කොට ඇති බව දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත්,

සිද්ධිය වූ දින කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවස අවට ආරක්ෂාවට යොදවා සිටි පොලිස් හා හමුදා නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්,දැනුම් දුන් පොලීසිය මල් වඩම් තැබීමේ සිද්ධිය ආවරණය කිරීමට පැමිණි ප්‍රධාන පෙළේ විද්‍යුත් මාධ්‍ය මගින් හා ඒ අවට ප්‍රදේශයේ සවිකර ඇති සී.සී.ටී.වී. දර්ශන විශ්ලේෂණය කරමින් කරුණු අනාවරණය කර ගැනීමට විමර්ශන කරන්නේ යැයිද දැනුම් දුන්නේය.

ඉමියුනොගොලොයුන් ඖෂධ වංචාව සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින්, මල් වඩම් තබමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි දැනුම් දුන් කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීහු ඒ සඳහා අවශ්‍ය නියෝග නිකුත් කරන්නැයිද ඉල්ලා සිටියහ. ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විමර්ශන කටයුතු සඳහා අවසර දුත් මහේස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස පොලීසියට නියම කළේය.



 බුද්ධිමාල් රුබේරු