keheliya-court

ඉතාම හදිසි කටයුත්තක් වශයෙන් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ඔෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළව විමර්ශන පවත්වන රහස් පොලිස් නිලධාරීන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අමාත්‍ය කාර්යාලයේ තිබි බාරයට ගත් කැබිනට් සංදේශවල කිසිදු කාර්යය සටහනක් ඇතුළත් නොවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.





කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කාර්යාලයේ තිබී රහස් පොලිස් බාරටය ගත් අනෙකුත් කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනුවල සාමාන්‍ය අන්දමට කාර්ය සටහන් යොදා ඇතත් බාල බෙහෙත් ගනුදෙනුවට අදාළ කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනුවල කිසිඳු කාර්ය සටහනක් නොමැති වීම සම්බන්ධයෙන් විමතියට පත් රහස් පොලිස් නිලධාරීහුන් මෙම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අමාත්‍ය කාර්යාලයේ තිබී රහස් පොලිස් බාරට ගත් 2022 මැයි 30, 2022 සැප්තැම්බර් 27, 2022 ඔක්තෝබර් 25 සහ 2022 දෙසැම්බර් 05 දාතමින් යුත් කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනුවල කිසිඳු කාර්ය සටහනක් නොමැති බවද රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල මීට පෙර අවස්ථාවක අධිකරණයේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන්

පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය කළ ඉල්ලීමක් පිළිගනිමින් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ඇති කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනු රහස් පොලිසියට බාරදීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අමාත්‍යාංශ ලේකම් සමන් රත්නායක මහතාට කළ නියෝගයකට අනුව අදාළ කැබිනට් සංදේශ රහස් පොලිසියට බාර දී තිබිණි.

එලෙස බාරදුන් කැබිනට් සංදේශවල කිසිඳු සටහනක් අඩංගු වී නොමැති බව හෙළි වීම නිසා රහස් පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.


  මනෝප්‍රිය ගුණසේකර