kelani-university-student-protest

කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31දා) විවෘත කිරීමට එරෙහිව කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පෙරේදා (29දා) රාත්‍රියේ විරෝධතාවක නිරත වූහ.

එදින රාත්‍රී 9.00 පමණ විශ්වවිද්‍යාල මාර්ගයේ ඉදිරිපිටට පැමිණ සිසුන් උද්ඝෝෂණයේ යෙදුණු අතර සිසුන්ට කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට ඇතුළුවීමට නොහැකි අයුරින් මාර්ග බාධක යෙදීමට පොලීසිය කටයුතු කළේය.



සිසුන් කොළඹ - නුවර මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කරමින් උද්ඝෝෂණයෙහි යෙදී සිටි අවස්ථාවේදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක්ද එල්ල කර සිසුන් පලවා හැරීමට පොලීසිය කටයුතු කළේය.

ඉන් අනතුරුව සිසුහු විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිටට ගොස් රාත්‍රිය ගත කළහ. එම පරිපාලන ගොඩනැගිල්ලට ඇතුළුවීමට තිබෙන ප්‍රධාන ගේට්ටුව සිසුන් විසින් අගුළු දමා එම ගොඩනැගිල්ල සිසු අයිතියට ගෙන තිබූ අතර ඊයේ (30දා) උදෑසන අධ්‍යයන කටයුතු සඳහා පැමිණි සිසුන් වසා තිබූ ප්‍රධාන ගේට්ටුව උඩින් පැන ඇතුළු වන අයුරු දක්නට ලැබුණි.

කැලණියේ විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ගමේ කාන්තා සමිතියක ස්වරූපයෙන් වැඩ කරන බව කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති තිස්සපුර සිරිසුමේධ හිමි ප්‍රකාශ කළහ.



කැලණි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සමග මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් ඊයේ (30දා) පැවති සාකච්ඡාවකින් අනතුරුව සිසුන් පරිපාලන ගොඩනැගිල්ලෙන් ඉවත් වනු ලැබිණි.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් තිස්සපුර සිරිසුමේධ හිමියෝ එසේ පැවසූහ.

“ජනාධිපතිවරයා විශ්වවිද්‍යාලයට පැමිණෙනවා නම් සේවකයන් වන ඔවුන්ට කරන්න දෙයක් නැති බව පැවසූ බවත්, රටේ ජනාධිපතිවරයා නිසාත් තමන් ඔහු යටතේ වැඩ කරන සේවකයන් නිසාත් ඊට ඉඩ දෙනවා හැර වෙන කළ යුතු දෙයක් නැති බව සාකච්ඡාවේදී පැවසුවේ යැයි ශිෂ්‍ය සංගමයේ සභාපති සුමේධ හිමියෝ පැවසූහ. රටේ ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ ඡන්දයෙන් පත් නොවූ නිසා පිළිගැනීමට සූදානම් නැති බවත්, රටේ පවතින ගැටලුවලට ජනාධිපතිවරයා වගකිව යුතු බවත්” සුමේධ හිමියෝ පැවසූහ.

 කැලණිය - ලාල් එස් කුමාර