kohuwala-incident

 “බස්රථය කොට කොට යනවා” යැයි බැණවැදුණු විශ්‍රාමික යුදහමුදා සෙබළකුගේ ගෙල බෝතල් කටුවකින් කැපූ කොන්දොස්තරවරයකු අත්අඩංගුවට ගත් බව කොහුවල පොලීසිය කියයි. බරපතළ තුවාල ලද විශ්‍රාමික සෙබළා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කරනු ලැබ සිටී.මාර්ග අංක 120 පිටකොටුව සිට හොරණ දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයේ මගීන් අතර සිටි විශ්‍රාමික සෙබළා ඉතා සෙමෙන් බස් රථය ධාවනය කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම දෝෂාරෝපණය කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

“හදිසි නම් බැහැලා වෙන බස් එකක යනවා” යැයි පවසා,

සෙබළා කොහුවල නගරයෙන් බැස්සවීමට කොන්දොස්තරවරයා කටයුතු කර තිබූ බව පොලීසිය කියයි. අනතුරුව මගීන් ගැනීම සඳහා කොන්දොස්තරවරයා බස් නැවතුමේ කෑගසමින් සිටියදී, විශ්‍රාමික සෙබළා කොන්දොස්තරවරයා අසලට පැමිණ බැණ වැදීමේදී සැකකාර කොන්දොස්තරවරයා පානය කරමින් සිටි වීදුරු වතුර බෝතලය කඩා, පහරදී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී යැයි ද පොලීසිය සඳහන් කරයි.තුවාල ලද විශ්‍රාමික සෙබළා 50 හැවිරිදි, කඹුරුපිටි පදිංචිකරුවෙකි. හොරණ ප්‍රදේශයේ පදිංචි, විසිතුන් හැවිරිදි සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ