kokuvil-police-incident

මඩකළපුව කොකුවිල් පොලිස් ස්ථානයට පෙරේදා (6) සවස මවක, ඇයගේ දියණියක සහ පුතකු කඩාවැදී කලහකාරි ලෙස හැසිරි, පොලිස් නිලධාරිනියක ඇතුළු නිලධාරීන් තිදෙනකුට පහරදී, තවත් පොලිස් නිලධාරියකු සපා කෑම හේතුවෙන් සිවු දෙනකු තුවාල ලබා මඩකළපුව මූලික රෝහලට ඇතුළත් කළ බව කොකුවිල් පොලීසිය පවසයි.



පොලීසිය විසින් පුතා, මව සහ දියණිය අත්අඩංගුවට ගනු ලැබූහ. පොලිස් ස්ථානයේ සවිකර තිබූ සිරකරුවන්ගේ අයිතිවාසිකම් සහ පොලිස් නිලධාරීන්ගේ මෙහෙවර සහ දැක්ම ගැන තොරතුරු ඇතුළත් පුවරු දෙකකට ද මෙම පිරිස පහරදී, හානි සිදු කර ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ත්‍රිරෝද රථ රියැදුරකුට පහරදී, හානි කළ බව කියමින් මෙම මව, දියණිය සහ පුතාට එරෙහිව පැමිණිල්ලක් කිරීමට ත්‍රිරෝද රථ රියැදුරකු කොකුවිල් පොලීසියට පෙරේදා (6 වැනිදා) සවස පැමිණ ඇති අතර, ත්‍රිරෝද රථ රියැදුරා පසුපසින් ඔවුන් ද පොලිස් ස්ථානයට පැමිණ, ත්‍රිරෝද රථ රියැදුරාට විරෝධය පළ කර, කලහකාරී ලෙස හැසිරී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

කලහකාරී ලෙස හැසිරුණු ඔවුන් තිදෙනා අසලට ගිය පොලිස් නිලධාරීන්, එසේ හැසිරෙන්නේ ඇයි දැයි කියා විමසා අවවාද කළ අවස්ථාවේ, ඔවුන් පොලිස් නිලධාරිනියට සහ නිලධාරීන් දෙදෙනාට පහරදී පොලිස් කොස්තාපල්වරයකු සපා කා ඇතැයි එම නිලධාරීයා කීය. පහරදුන් බව කියන තරුණයා බීමත්ව සිටින බව පෙනී යන්නේ යැයි පොලීසිය පවසයි. මව සහ දියණිය පොලිස් නිලධාරීන් පහරදුන් බව කියමින්,

1990 සුවසැරිය ගිලන් රථයක් ගෙන්වාගෙන රෝහල්ගතව ඇති බව පොලීසිය සඳහන් කරයි.මව සහ දියණිය රෝහල්ගතව සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.මවට සහ දියණියට පහර නොදුන් බවත්, ඔවුන් කරන චෝදනා තරයේම ප්‍රතික්ෂේප කරන බවත්, කොකුවිල් පොලීසිය පවසයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය