kosgoda-tharaka-wife-free

හෙරොයින් කිලෝ පහකට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබ සිටි ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන කොස්ගොඩ තාරක නමැත්තාගේ අනියම් බිරිය සහ සගයකු කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (05) නිදොස්කොට නිදහස් කළේය.

මීට වසර හතරකට පෙර රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 13 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පැමිණිල්ලෙන් කීවත් පැමිණිල්ලේ සාක්කි සලකා බැලීමේදී එවැනි වැටලීමක් සිදු වූවාද යන්න සැක සහිත බව විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරමින් විනිසුරුවරයා නිකුත් කළ නියෝගයේ සඳහන් කර ඇත.



විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි සඳහන් කරමින් මෙලෙස නිදොස්කොට නිදහස් කරන ලද්දේ කොස්ගොඩ තාරක නමැත්තාගේ අනියම් බිරිඳ බව කියන නිලංකා රසානි සහ ඇගේ සහායකයකු බව කියන මොහොමඩ් සෆීර් නමැත්තෙකි.

2019 නොවැම්බර් 22 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් පහක් ළඟ තබා ගැනීම යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබිණි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 13කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව අධිකරණයට දැනුම් දුන් අතර රජයේ රස පරීක්ෂකවරයා විසින් එහි ශුද්ධ හෙරොයින් කිලෝ ග්‍රෑම් පහක් ඇති බව තහවුරු කර තිබිණි.



දීර්ඝ නඩු විභාගය අවසානයේ සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා දක්ෂ පළපුරුදු නිලධාරීන් වන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් මෙම වැටලීමට අදාළව දුන් සාක්කි විශ්ලේෂණය කිරීමේදී මෙවැනි වැටලීමක් වුවාද යන්න පිළිබඳ සැකයක් මතුවන්නේ යැයි සඳහන් කළේය.

කුඩු ජාවාරම්කරුවකුගේ අනියම් බිරිඳක් විසින් පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීම සඳහා ගිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පොලිස් නිලධාරිනියක කැඳවාගෙන නොයාම ගැටලු සහගත බව තීන්දුවේ සඳහන් කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි ද සඳහන් කළේය.



ඒ අනුව විත්තිකරුවන් දෙදෙනාම නිදොස්කොට නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් කණ්ඩායමක් සමග නීතිඥ චමින්ද අතුකෝරළ මහතා පෙනී සිටියේය.

මනෝප්‍රිය ගුණසේකර