kurunegala-theft

සී. අයි. ඩී නිලධාරීන් බව පවසා පිටකොටුව හෙට්ටි වීදියේදී රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න වටිනා රත්තරන් සහ විදේශීය මුදල් අඩංගු පාර්සලයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු ත්‍රි රෝද රථයකින් පැහැරගෙන ගොස් එම දේපළ කොල්ලකෑ සිව් දෙනාගේ කල්ලිය අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කොල්ලය සැලසුම් කළ ත්‍රිරෝද රථ රියදුරෙකු, ඔහුගේ බෑනා, යුද්ධ හමුදාවේ විශ්‍රාමික සෙබළුකු හා තවත් පුද්ගලයෙකුද වන බව පොලීසිය කියයි.

කොල්ලයේ සැලසුම්කරුවන සැකකාර වසර 25කට අධික කාලයක් හෙට්ටි වීදියේම රාත්‍රී කුලී ගමන් යන ත්‍රිරෝද රථ රියදුරකු ලෙස සේවය කළ අයෙකු බව පොලීසිය සදහන් කරයි.



සැකකරුවන් සියලු දෙනාම ඔරුගොඩවත්ත 13 වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන් විසින් කොල්ල කන ලද කැරට් 21-22 ප්‍රමාණයේ රත්තරන් ග්‍රෑම් 432ක්, කැරට් 24 ප්‍රමාණයේ රත්තරන් ග්‍රෑම් 92ක් මෙන්ම රුපියල් ලක්ෂ 19ක විදේශීය මුදල් තොගයෙන් ලක්ෂ 5ක විදේශීය මුදල් සොයාගත් බව පොලීසිය සදහන් කරයි.

පිටකොටුව,හෙට්ටි වීදියේ රන් ආභරණ වෙළෙඳ සැලක් හිමි ව්‍යාපාරිකයෙකුට කාත්තන්කුඩි සහ මඩකලපුව යන ප්‍රදේශවල රන් භාණ්ඩ අලෙවි සැල් දෙකක් තිබෙන අතර එම වෙළෙඳ සැල්වල සිට උණු කරන ලද රත්තරන් කැබලි අලුතින් රන් භාණ්ඩ සැකසීම සඳහා හෙට්ටි වීදිය රන් ආභරණ වෙළෙදසැලට, කාත්තන්කුඩි සිට කොළඹ දක්වා රාත්‍රී පැමිණෙන දන්නා හඳුනන බස් රථයකින් ඉකුත් 11 වැනි දින ඒවා තිබූ බව පොලීසිය කියයි.

බස් රථයෙන් පාර්සලය ලබාගත් සේවකයා එය ඉනෙහි සඟවාගෙන රන් ආභරණ වෙළෙද සැල ආසන්නයට පැමිණීමත් සමගම ඔහුගේ පිටුපසින් පැමිණ තිබූ ත්‍රිරෝද රියකින් බැස තිබූ පුද්ගලයකු ඔහුගේ ගෙල ප්‍රදේශයෙන් අල්ලා අපි සී.අයි.ඩී. බව පවසමින් එම සේවකයා ත්‍රිරෝද රථයට බලහත්කාරයෙන් නංවාගෙන රන් අඩංගු පාර්සලය කොල්ලකෑමෙන් අනතුරුව

සේවකයා කොච්චිකඩේ පල්ලිය අසලින් බස්සවා ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයන් පලා ගොස් තිබිණ.

කොල්ලය සම්බන්ධයෙන් පිටකොටුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. කේ. අනුරජිත් මහතා ඇතුළු කණ්ඩායම කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ආරම්භ කරමින් සීසීටීවී දර්ශන එකින් එක පරීක්ෂා කිරීමේදී කොල්ලකරුවන් පැමිණි ත්‍රිරෝද රථය ඔරුගොඩවත්ත දෙසට ගමන් කරන අයුරු දර්ශනය වී තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව සීසීටීවී දර්ශන 40කට අධික ප්‍රමාණයක දර්ශන පරික්ෂා කිරීමෙන් අනතුරුව ඔරුගොඩවත්ත 13 වත්ත ප්‍රදේශයේදී කොල්ලය සදහා සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය හඳුනාගත් බව පොලීසිය කියයි.

අනතුරුව ත්‍රිරෝද රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී කොල්ලයේ සුල මුල මෙන්ම කොල්ලයේ සැලසුම්කරු සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය කරගත් පොලීසිය ඊට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනාම අත්අඩංගුවට ගත් බව කියයි.

සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ත්‍රිරෝද රථ රියදුරුගෙන් වසර 25කට ආසන්න කාලයක් සේවය කරන ත්‍රිරෝද රථ ගාලේ සිට මෙම රන් ආභරණ වෙළෙඳ සැලේ සේවකයන්ගේ ගමන් පිළිබද දැඩි අවධානයෙන් පසු වී ඔවුන් අලුයම් කාලයේ වෙළෙද සැලෙන් පිටතට ගොස් මඳ වේලාවකින් ඉනෙහි පාර්සල් සඟවාගෙන පැමිණෙන්නේ යම් වටිනා කමක් ඇති දෙයක් බවට අවබෝධ කර ගැනීමෙන් අනතුරුව සිය බෑණාට ඒ බව පවසා මෙම කොල්ලය සැලසුම් කළ බව පාපෝච්චාරණය කර ඇත.



කොල්ලය සිදු කිරීමෙන් අනතුරුව සැකකරුවන් සිව්දෙනා රුපියල් ලක්ෂ 19ක විදේශීය මුදල් සම සමව බෙදාගෙන ඇති අතර, විශ්‍රාමික හමුදා සෙබළා කොල්ල කන ලද කැරට් 24 රත්තරන් ග්‍රෑම් 92 ප්‍රමාණයක් ලබාගෙන තිබියදී පොලීසිය මගින් සොයාගෙන ඇත.

සෙසු රත්තරන් තොගයම ත්‍රිරෝද රථ රියදුරුගේ බෑනාගේ නිවසේ වහලයේ සඟවා තිබියදී සොයා ගත් බව පොලීසිය කියයි.

ත්‍රිරෝද රථ රියදුරු හැරෙන්නට අනෙක් දෙදෙන කොල්ලකෑමෙන් ලබාගත් විදේශීය මුදල් මෙරට මුදල් බවට පරිවර්තනය කර අයිස් මත්ද්‍රව්‍ය පානය සදහා වැය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් සිව් දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


  බණ්ඩාරගම -බිමල් ශ්‍යාමන් ජයසිංහ