lalith-jayasinghe-free

2015 ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැලියක සැරසිලි කරමින් සිටියදී එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණවලදී කහවත්ත පොලිසියට බලපෑම් කිරීමේ චෝදනාවට වරදකරුව පස් අවුරුදු සිර දඬුවමක් විඳිමින් සිටි සබරගමුව පළාත භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතා රුපියල් තිස්දාහක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වන ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඊයේ (16) නියෝග කළාය.

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාර දෙන මෙන්ද නියෝග කෙරිණි.



2023 ඔක්තෝබර් මස 26 වන දින අභියාචනයට යටත්ව ඉදිරිපත් කළ ඇප අයැදුම්පත සලකා බැලූ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය සැකකරු ඇප මත නිදහස් කිරීමට නියෝග කළාය.

රත්නපුර අධිකරණ බල ප්‍රදේශයේ පිහිටි කහවත්ත ප්‍රදේශයේදී 2015 ජනාධිපතිවරණයට අදාළව සැරසිලි කරමින් සිටි එජාප ආධාරකරුවකු වූ ශාන්ත දොඩංගොඩ යන අයට 2015 වර්ෂයේ ජනවාරි මස පස්වන දින හෝ ඊට ආසන්න දිනයකදී වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් අයට තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවකු බවට විශ්වාස කිරීමට කරුණු ඇත්තා වූ තැනැත්තකු වන එවකට නියෝජ්‍ය අමාත්‍යවරයකුව සිටි වර්තමාන රාජ්‍ය අමාත්‍යවරයකු වන ප්‍රේමලාල් ජයසේකර යන අය නීත්‍යානුකූල දඬුවමෙන් ආවරණය කර ගැනීමේ අදහසින් යම් ක්‍රියාවක් කිරීමෙන් එනම් එකී අදහසින් ප්‍රේමලාල් ජයසේකර යන අයගේ නම හෙළිදරව් වන අයුරින් මහාධිකරණයට  කරුණු වාර්තා කිරීමට කහවත්ත පොලිසියේ ස්ථානාධිපතිට සහ අදාළ නිලධාරීන්ට බලපෑම් කිරීම හේතුවෙන් සබරගමු පළාතේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට පස් අවුරුදු සිර දඬුවමක් නියම කර තිබිණි.



රත්නපුර මහාධිකරණයේදී 2023.09.25 දින සුළු දඬුවම් සහිත වසර පහක සිර දඬුවමක් එලෙස නියම කළ අතර ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතා එම සිර දඬුවම විඳිමින් සිටියදී ඔහුගේ බිරිඳ නීතිඥ පණ්ඩුල වන්නිආරච්චි මහතා මගින් 2023 ඔක්තෝබර් මස 26 වන දින අභියාචනයට යටත්ව ඉදිරිපත් කළ ඇප අයැදුම්පත සලකා බැලූ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය සැකකරු ඇප මත නිදහස් කිරීමට නියෝග කළාය.

රත්නපුර හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතා 2023.09.25 දින සිට ඊයේ (16) දක්වා වැලිකඩ බන්ධනාගාරයේ පසුවිය.

 රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා