lalith-kothalawala-death-report
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවල මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නොතීසි නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා ඊයේ (22) නියෝග කර තිබෙයි.


කොතලාවල මහතාගේ මරණ පරීක්ෂණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණ තීන්දුව පසුගිය නොවැම්බර් 14 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූණි.



නමුත් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර නොතිබීම නිසා එම තීන්දුව ලබාදීම කල්තැබීමට මහේස්ත්‍රාත්වරයා විසින් මීට පෙර කටයුතු කර තිබුණි.
මරණ පරීක්ෂණය කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා දේහයේ කොටස් රජයේ රස පරීක්ෂකවරයාට යොමුකර ඇති හෙයින් එම වාර්තා ලැබෙන තෙක් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට සිය වාර්තා ඉදිරිපත් කිරීම ප්‍රමාද වී ඇති බව කරුණු ඉදිරිපත් කර තිබෙයි.



කොතලාවල මහතාගේ මරණ පරීක්ෂණයට අදාල සාක්ෂි ලබාදීම මේ වනවිට අවසන් කර ඇති අතර මරණ පරීක්ෂණයට අදාළව සාක්ෂිකරුවන් 8 දෙනෙකු අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබාදී තිබුණි.

මියගිය කොතලාවල මහතාගේ බිරියගේ සහෝදරියක් වන ෂෙරින් පේෂන් විජේරත්න, හා බම්බලපිටිය පොලීසියේ සැරයන් (8764) විමලරත්න මෙන්ම කොතලාවල මහතා යටතේ සේවය කළ සේවකයන් වන සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට සම්බන්ධ ගෝල්ඩන්කී තැන්පත්කරුවන්ගේ සංගමයේ ජූඩ් මාකෝ පෙරේරා,යූ.ඩී රම්‍යා,සිසිර කුමාර සමරසිංහ,මහින්ද උපසේන වඩුගේ,සුනේත්‍රා කුමාරි රණසිංහ,හා දිනේෂ් සඳරුවන් ජයවීර යන අය එසේ සාක්ෂි ලබාදි තිබුණි.