lohan-pistol

 තමා රදවා සිටි අනුරාධපුර බන්ධනාගාරයේ සිර කුටියෙන් දෙවතාවක්ම එළියට ගත් තමා දණගැස්සූ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඔහුගේ ඉණේ තිබූ පිස්තෝලය අතට ගෙන එය ‘ලෝඩ්’ කර තමාගේ නළලට තබා ‘උඔ කියන්නේ බොරු’ ‘ඇත්ත කියපන්. කියා තර්ජනය කළ අවස්ථාවේ වෙඩි තබා තමා මරා දමාවියැයි බිය දැනී හැඬුවේ යැයි අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ත්‍රස්තවාදී සිරකරුවකු වන ප්‍රබාලසිංහම් සූරියපාලන් නමැත්තා සාක්කි දෙමින් අනුරාධපුර මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා හමුවේ ඊයේ (04) පැවසීය.

ඔහු මෙසේ පැවැසුවේ බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා රාත්‍රි කාලයේ බීමතින් අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී එහි රඳවා සිටි දමිළ ජාතික රැඳවියකුට ගිනි අවියක් එල්ල කර වෙඩි තබා මරාදැමීමට හැකි බව පවසමින් සාපරාධී බියවැද්දීම යටතේ පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සමදරි පියසේන මහත්මියගේ මෙහෙයවීම යටතේ සාක්කි දෙමිනි.

නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකාර වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ මහතා අධිකරණයේ පෙනී සිටියේය.

2021 සැප්තැම්බර් 12 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී රාත්‍රි කාලයේදී අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටි පූබාල සිංහන් සූරියපාලන් නමැත්තා දෙසට ගිනි අවියක් එල්ල කර වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසා සාපරාධී බියවැද්දීම සහ තර්ජනය කිරීම යටතේ විත්තිකරුට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාස චෝදනා නඟා ඇත.විත්තිකරුට එරෙහිව සාක්ෂිදීම සඳහා සිද්ධිය වූ බව කියන දිනයේ අනුරාධපුර බන්ධනාගාරයේ රාජකාරියේ යෙදී සිටි බන්ධනාගාර නිලධාරීන් සහ එහි රඳවා සිටි රැඳවියන් ඇතුළු 14 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

විත්තිකරුට එරෙහි චෝදනා මීට පෙර අවස්ථාවක කියවා දුන් අවස්ථාවේදී සියලු චෝදනාවන්ට තම සේවාදායකයා නිවැරැදිකරු බව ලොහාන් රත්වත්තේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා දැනුම් දීමෙන් අනතරුව නඩුව විභාගයට තැබීය.ඒ අනුව නඩු විභාගය ආරම්භ කළ අවස්ථාවේදී නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සමදරී පියසේන මහත්මියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් අතර සාක්ෂිකාර පූබාලසිංහම් සූරියපාලන් නමැත්තා ද්‍රවිඩ භාෂාවෙන් දුන් සාක්ෂිය අධිකරණ භාෂා පරිවර්තක ඉර්ගාන් මොහොමඩ් මහතා සිංහල භාෂාවට පරිවර්තනය කළේය.එල්ටීටීඊ සංවිධානය යළි ප්‍රතිසංවිධානය කිරීමට සැලසුම් කළැයි කියමින් 2019 ජනවාරි 08 වැනිදා වව්නියාව පුලියන්කුලම පොලිසිය මා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කළා. බන්ධනාගාරයට ගෙනා මා ත්‍රස්තවාදී සිරකරුවන් රඳවා සිටි අනුරාධපුර බන්ධනාගරයේ එෆ් කියන සිර කුටියට දැම්මා. එහි මා සමඟ තවත් ත්‍රස්තවාදී සිරකරුවන් 11 දෙනෙක් හිටියා.

2021 සැප්තැම්බර් 12 වැනිදා අප සිටිය සිර කුටියට පැමිණි ජේලර් කෙනෙකු කිව්වා ‘අපිව නිදහස් කරන්න අත්සන් ගන්න ඕනේ.

අපි හමුවෙන්න බන්ධනාගාර ඇමැතිතුමා ඇවිත් ඉන්නවා' කියලා පස්සේ සිරකුටියෙන් එළියට ගත් අප මිදුලේ පෝලිම් කළා. ඒ අවස්ථාවේ එතැන අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා ප්‍රධාන ජේලර්වරයා සහ බන්ධනාගාර පොලිස් නිලධාරීන්ද හිටියා. ඒ අතරේ තවත් පිරිසක් සමඟ තොප්පියක් දාලා අත් දිග ටී ෂර්ට් එකක් ඇඳගෙන තවත් පුද්ගලයෙක් හිටියා.ඔහුගේ ඉණේ දකුණු පැත්තේ පිස්තෝලයක් ගහගෙන හිටියා ඔහු කතා කර අපෙන් ඇහැව්වා ‘මොන වගේ නඩුවලට සම්බන්ධවෙලාද බන්ධනාගාර ගතවෙලා ඉන්නේ කියලා' ඒ අවස්ථාවේදී මට සිංහල නොතේරෙන බව සුදාහරන් මාර්ගයෙන් මම එයාට කිව්වා.ඒ අවස්ථාවේ ඔහුගේ ඉණේ තිබූ පිස්තෝලය අතට ගෙන එකවරම ලෝඩ් කරලා මගේ නළලට තියලා උඔ සිංහල දන්නෙ නැහැ කියන්නේ බොරු නේද? ඇත්ත කියපන්' කියලා කීවා. මේ විදිහට ඔහු මා දෙවතාවක්ම දණ ගස්වලා මගේ නළලට පිස්තෝලය තියලා තර්ජනය කළා.

ප්‍රශ්නය:- ඒ වෙලාවේ ඔබට මොකක්ද හිතුණේ?

පිළිතුර:- වෙඩිතියලා මාව මරයි කියලා මට ලොකු භයක් ඇතිවුණා. මට ඇඬුණා.

ප්‍රශ්නය:- විත්තිකරු පිස්තෝලය ලෝඩ්කරන අවස්ථාවේ යම් සිද්ධියක් වුණාද?

පිළිතුර:- ඔව්. බන්ධනාගාර අධිකාරිවරයා විත්තිකරුගේ අතින් ඇල්ලුවා.

ප්‍රශ්නය:- තමාගේ නළලට පිස්තෝලය තියලා බය කරපු කෙනා අද මේ අධිකරණයේ ඉන්නවාද?

පිළිතුර:- ඔව්. විත්ති කූඩුවේ ඉන්නවා.

සාක්ෂිකාර පූබාලසිංහම් සූරියපාලන් නමැත්තා විත්තිකාර රාජ්‍ය අමාත්‍ය ලෙහාන් එවින්ද රත්වන්තේ විවෘත අධිකරණය්ය්දී හඳුනා ගත්තේය.



ඔහු මගේ නළලට පිස්තෝලය තියලා තර්ජනය කරලා බය කරපු අවස්ථාවේ එතැන අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයාත් ප්‍රධාන ජේලර්වරයාත් තවත් නිලධාරිනුත් බන්ධනාගාර පොලිස් නිලධාරීනුත් හිටියා. ප්‍රධාන ජේලර්වරයා මුලින්ම අපිව සිරකුටිවලින් එළියට ගත්තේ නිදහස් කරන්න අත්සන් ගන්න බන්ධනාගාර ඇමැතිතුමා ඇවිත් ඉන්නවා කියලා.

මා දෙවතාවක් දණ ගස්සලා පිස්තෝලය නළලට තියලා තර්ජනය කළ සිද්ධිය ගෙවල්වලට කියන්න කෝල් අරන් දෙන්න කියලා බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු නිලධාරීන්ට කීවත් ඔවුන් ඒ අවස්ථාව අපට දුන්නේ නැහැ. පසු අවස්ථාවක මානව හිමිකම් කොමිසමෙන් බන්ධනාගාරයට ඇවිත් මේ සිද්ධිය සම්බන්ධයෙන් අපෙන් ප්‍රකාශ ගත්තා. ඉන් පසු කොළඹ මැගසින් බන්ධනාගාරයට අපි මාරු කළා.

වැඩිදුර නඩු විභාගය ලබන අප්‍රේල් 25 වැනිදාට කල් තැබූ මහේස්ත්‍රාත්වරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුට නියම කළේය. පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ සමදරි පියසේන මහත්මිය පෙනී සිටි අතර කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකරි නෙවිල් ද සිල්වා මහතාගේ උපෙදස් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක ඒ.එච්.එල්. සුමනසිරි මහතා පැමිණිල්ලට සහය වෙමින් පෙනී සිටියේය.විත්තිකරු වෙනුවෙන් නීතිඥවරුන් වන නිශ්ශංක පීරිස්, මුදිත ලොකුමුදලි සහ අනුපමා උඩවෙල යන මහත්ම මහත්මීන් සමඟ ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පෙනී සිටියේය.
උපාලි ආනන්ද