mahinda-kodithuwakku-court

අවලෝකේතීශ්වර බෝධිසත්වයන් බවට හඳුන්වා ගනිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන විකෘති දේශනා කළැයි කියන මහින්ද කොඩිතුවක්කු නමැත්තා සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (16) නියම කළේය. සිද්ධියට අදාළව කරන ලද විමර්ශන සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කරුණු දැනුම් දුන් අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් අවඥාසහගත අන්දමට විත්තිකුඩුවේ සිට සැකකරු සිනහ වෙන ආකාරය නිරීක්ෂණ කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ 'අංග තුලාව ' අනුව යම් මානසික රෝගයකින් පෙළෙන බව නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව ඔහුගේ මානසික තත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියම කළේය.

සැකකරුට ඇප නියම කරන්නැයි කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප කර ඔහු ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට ඉදිරිපත් කිරීමට වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය. රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් අනතුරුව මෙලෙස මානසික තත්වය සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියම කරන ලද්දේ අවලෝකේතීශ්වර බෝධිසත්වයන් බවට හඳුන්වාගත් කොඩිතුවක්කු මුදියන්සේලාගේ මහින්ද කොඩිතුවක්කු නමැත්තාගේය. බලන්ගොඩ කාශ්‍යප හිමියන් කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් එහි සහකාර පොලිස් අධිකාරි චන්දිමා අරුමප්පෙරුම මහත්මිය ඉදිරිපත් කළාය.



පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් 1979 ජූනි 23 වැනිදා ඉපදී අම්බලන්ගොඩ පදේශයේ ජීවත් ව ඔහ 2012දී ඊජිප්තවට පිටත්ව ගිය බවත් එහි ඇමෙරිකානු කඳවුරක නිලධාරියකුගේ නිවසේ බල්ලන් බලාගැනීමේ රැකියාවේ නිරත වූ ඔහු ජනවාරි පළමු වැනිදා ලංකාවට පැමිණි බවත් පැවසීය.ගුවන් තොටුපළේ සිට ලිමොසින් ' වර්ගයේ රථයකින් කැලණිය විහාරයට ගොස් තමන් බෝධිසත්වයකු බව අඟවමින් රංගනයක නිරත වූ සැකකරු තමන් මෙහි පැමිණියේ ශ්‍රී ලංකාව බේරා ගැනීම සඳහා ' බවට ප්‍රකාශ කර ඇතැයි කී දිලීප පීරිස් මහතා යුටියුබ් නාලිකා පහක් පමණ පවත්වාගෙන යන සැකකරු 2016 වසරේදී තමන්ට විඤ්ඤාණය පහළ වූ බව කියමින් බුද්ධ ධර්මය විකෘති කරමින් කරුණු ඉදිරිපත් කර ඇතැයි කීය.

අනුගාමිකයන් ලක්ෂ තුනක් පමණ සිටින බව පවසන මෙම සැකකරු සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය, පරිගණක අපරාධ පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන බව සඳහන් කළ දිලීප පීරිස් මහතා සැකකරුගේ මෙරට කටයුතු සංවිධානය කරන්නේ පුණ්‍ය සිරි නමැති පොලිස් නිලධාරියකු සහ වෛද්‍යවරුන් දෙදෙනකු ඇතුළු පිරිසක් බවද පැවසීය.මෙරටට පැමිණි සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීත් රැඳී සිට ඇත්තේ රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂවරයකුගේ බිරිඳට අයත් නිවසක බවත් සැකකරු දිවයිනට පැමිණි දින 15 තුළ රුපියල් ලක්ෂ 15ක පමණ මුදලක් වැය කර ඇතැයි ද ගුවන් තොටු පළේ සිට කැලණිය විහාරයට පැමිණීමට ඔහු භාවිත කළ "ලිමොසින් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය කැලණිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන පියතිස්ස නමැත්තාගෙන් රුපියල් 25,000 ක කුලී පදනම මත ලබාගෙන ඇතැයිද කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඔස්ට්‍රේලියාවේ පදිංචි ඇතැම පුද්ගලයිනුත් ඔහුට සහාය වන බව හෙළිවී ඇතැයිද කීය.

බුදු දහමට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් සොයාබලන ලෙස ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ඇතුළු මහා නායක හිමිවරුන් පස් නමක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයිද සැකකරුගේ ඇතැම් ප්‍රකාශ නිසා මහජන නොසන්සුන්තාවක් ද ඇතැයි කී දිලීප පිරිස් මහතා සැකකරුට දඬුවම් කිරිමෙන් පලක් නැති බවත් ඔහු දෙස අනුකම්පාවෙන් බලා බෙහෙත් ලබාදිය යුතු බවත් පැවසීය.

සැකකරුට ඇප දීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සැකකරු අංගොඩ ජාතික මානසික වෛද්‍ය විද්‍යා ආයතනයට ඉදිරිපත් කර ඔහුගේ මානසික තත්වය පිළිබඳ වාර්තාවක් කැඳවීමට නියම කරන්නැයිද ඉල්ලා සිටියේය. සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා කළ ප්‍රකාශ වලින් බුදුරජාණන් වහන්සේට හෝ කිසිදු ආගමික නායකයකුට අපහාසයක් කර නැතැයිද ඔහු එවැනි අපහාසාත්මක ප්‍රකාශ කළා නම් ඔහුට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති ( අයි. සී.සී.පී.ආර්.) පනත යටතේ චෝදනා ඉදිරිපත් කරන්නේ යැයිද කීය.

තම සේවාදායකයාට එරෙහිව අයි.සී.සී.පී.ආර්. පනත යටතේ චෝදනා ඉදිරිපත් නොකිරීමට රහස් පොලිසිය කටයුතු නොකරන්නේ ඔහු වෛරී ප්‍රකාශයක් නොකළ නිසා යැයිද තම සේවාදායකයා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළ බවට මෙතෙක් අධිකරණයට කරුණු ඉදිරිපත් කර නැතැයිද කී ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා තම සේවාදායකයාගේ ප්‍රකාශ හේතුවෙන් මහජන ආරක්ෂාවට තර්ජනයක් වී නැතැයිද වාර්ගික හෝ ආගමික නොසන්සුන්තාවක් වී නැතැයිද පැවසීය. තම සේවාදායකයාගේ මානසික තත්වය පරික්ෂා සම්බන්ධයෙන් තමන් විරුද්ධ නොවන බවත් යූ ටියුබ් නාලිකාවකට වීඩියෝ පටයක් උඩුගත කිරීම පරිගණක අපරාධ පනත යටතේ වරදක් ලෙස සැලකීමට හැකියාවක් නැති බවත් කී ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා බුදුදහමට එල්ල වී තිබෙන තර්ජන සම්බන්ධයෙන් සොයා බලන ලෙස මහනායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කරමින් ප්‍රකාශ නිකුත් කර ඇතැයිද සැකකරුගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ජනමාධ්‍ය තුළ විශාල කතාබහක් ආරම්භ වී ඇතැයිද සඳහන් කළේය.

සැකකරුගේ ක්‍රියාකාරකම් හේතුවෙන් මහජන කැළඹීමක් මතුවී ඇති බව මෙන්ම පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමේදී සැකකරු අංග චලනයන් (අංග තුලාව) මගින් සිය හැඟීම් ප්‍රදර්ශනය කිරීමේදී ඔහු කිසියම් මානසික ව්‍යාකූලතාවයකින් පසුවන බවද නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවහොත් මහජන කැළඹීමක් මතු විය හැකි යැයි ද තීන්දු කළේය. ඒ අනුව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රති ක්ෂේපකර ලබන 24 වන දා දක්වා ඔහු රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ මානසික තත්වය සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියම කළ අතර ඔහු අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට ඉදිරිපත් කිරීමට වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය ලබන 24 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක ලලන්ත කුමාර සහ සහකාර පොලිස් අධිකාරි චන්දිමා අරුමප් පෙරුම මහත්මිය සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.සැකකරු වෙනුවෙන් නීතිඥවරුන් කණ්ඩායමක් සමග ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා පෙනී සිටියේය.
 විමුක්ති රුද්‍රිගු