කොළඹ වරායේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සඳහා නෞකාවක සංවිධානය කර තිබූ සාදයක් පිළිබඳව පසුගියදා මාධ්‍ය වාර්තා පළවූ අතර ඒ සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂද එක්ව සිටීම විශේෂත්වයක් විය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු කොළඹ වරායේ නෞකාවක සිටියදී සංග්‍රහ කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන වෘත්තීය සමිති හරහා මාධ්‍ය වෙත මතු විය.
රට වළපල්ලට ගොස් තිබියදී හිටපු ජනාධිපතිවරයා වරායේ යාත්‍රා දෙකක් අරගෙන මුහුද මැද පාටි දමන්නේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී ඊයේ ( 11 වැනිදා) ප්‍රශ්න කළේය.
මේ බව ප්‍රශ්න කරමින් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා
‘‘ වැට් එක නිසා රටම ෆ්ලැට් වෙලා අවසන් . එවන් තත්ත්වයක් තිබියදී වරාය අධිකාරියට අයත් හංසකාවා හා දිය කොවුලා යන යාත්‍රා දෙක අරගෙන මීට දින දෙකකට පෙර මහ මුහුදේ මැද ලොකු පාටියක් දාලා. මේක බොරුවක් නෙමෙයි. රාජ්‍ය ඇමැතිවරයා ලිඛිතව අවසර ගෙන මේ යාත්‍රා ලබා ගෙන තිබෙනවා. මන්ත්‍රි පිරිසක් මේ පාටියට එක් වෙලා තියෙනවා. දරුවන්ගේ වාර ප්‍රවේශපත්‍ර නතර කරලා දරුවන්ට කන්න දෙයක් නැතිව හාමතේ ඉන්න කාලයක කොහොමද මෙහෙම පාටි දාන්නේ.
බංකොලොත් රටක කොහොමද මෙහෙම පාටි දාන්නේ. “
කීවේය.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියා සිටියේ කොළඹ වරායේ ක්‍රියාත්මක වන විවිධ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ යාවත්කාලීන කිරීම සඳහා දේශපාලඥයින්, නියෝජිතයින් සහ මාධ්‍යවේදීන් සඳහා සාමාන්‍ය නැව් සංචාර පවත්වන බවයි.
වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරුන්ගේ ඉල්ලීමකට අනුව එහි නිරීක්ෂණ චාරිකාවක් සඳහා මැති ඇමැතිවරුන් පිරිසක් සඳහා නැව් චාරිකාවක් සංවිධානය කළ බව වරාය අධිකාරිය වැඩිදුරටත් පැවසීය.
මාධ්‍ය වාර්තාවල සඳහන් පරිදි ආහාර හෝ වෙනත් කටයුතු සඳහා වියදම් කර නොමැති බවද වරාය අධිකාරිය පැහැදිලි කර තිබේ.
කෙසේ වෙතත් මේ සඳහා ලක්ෂ ගණනක් වැයකර නාස්තියක් සිදුකර ඇති බව වෘත්තීය සමිති පෙන්වා දී තිබුණි.
0 Comments