mahinda-president-pohottu-candidate

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොවීමේ තත්වයක් පවතින බව එම පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. එළඹෙන ජනාධිපතිවරණයේ දී ගමේ ජනතාවගේ ඉල්ලීම කෙරෙහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩි සැලකිල්ල යොමුකරන බවත් තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගෙන නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා කීය.



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත්වීමට හෝ නොවීමට හෝ ඉඩ තිබෙන බව ද කී ඒ මහතා එළඹෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා නම් එම අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුම් දෙන බවද සඳහන් කළේය.ගමේ තත්වය දෙස අවධානය යොමුකර ගමෙන් වැඩි වශයෙන්ම ඉල්ලන අපේක්ෂකයා සම්බන්ධයෙන් සැලකිලිමත් වන බව රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස නම් කර තිබුණ ද තම පක්‍ෂයේ අපේක්ෂකයා නම් කර  නොමැති බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා පිළිබඳව බිම් මට්ටමෙන් තවදුරටත් සාකච්ඡා කරගෙන යන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.‘සද්ජන රළ ඉර හඳ සත්‍යය වසන් කළ නොහැක' යන තේමාව යටතේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජනහමු මාලාව යටතේ තලවතුගොඩ, ග්‍රෑන්ඩ් මොනාච් හෝටල් පරිශ්‍රයේ දී පැවැති ජනහමුවේ දී හිටපු ජනාධිපතිවරයා එසේ පැවසීය.

යොහාන් භාසුර