mahindananda-tax

ඕනෑම පුද්ගලයකුට බදු නොගෙවා වසර 15 සිටිය හැකි බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ මහතා පැවසීය.මන්ත්‍රීවරයා මෙම අදහස් පලකළේ රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම උදෙසා කළ යුතු නෛතික සංශෝධන සඳහා අදහස් ලබා ගැනීමේ අරමුණින් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාප්පක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති විශේෂ රැස්වීමේදීය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව හා සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන නියාමනය කිරීම මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. මෙහිදී අදහස් දැක්වූ ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැහැදිලි කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කාරක සභාව හමුවට අවස්ථා කීපයකදී ගෙන්වා සාකච්ඡා කළ බවත්,

එහිදී හදුනාගත් ගැටලු ගණනාවක් පවතින බවත්ය.

සභාපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ ඕනෑම  පුද්ගලයකුට බදු නොගෙවා වසර 15ක් සිටිය හැකි බවයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු ලිපිගොනුවක් තක්සේරු කිරීම සඳහා පවතින පනත යටතේ මාස 30ක් සහ අභියාචනා සලකා බැඳීම සඳහා තවත් මාස 24ක් පවතී. ඒ අනුව බදු ලිපිගොනුවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ මාස 54කට අධික කාලයක් පවතින අතර ඉන්පසු බදු අභියාචනා කොමිෂන් සභාවට අභියාචනා කළ පසු පනතට අනුව ඔවුන්ට වසර 2ක කාලයක් ඒ සඳහා හිමි වන බවද හෙතෙම පැවසීය.

ඉන් පසු අභියාචනාධිකරණයට හා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කළ හැකි බවත්, මේ සඳහා ආසන්න වශයෙන් වසර 15කට අධික කාලයක් ගත වන බවත් හෙතෙම පැවසීය. මෙහිදී අදහස් දැක්වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කළේ 2023.06.30 දිනයට ලැබිය යුතු හිඟ බදු ආදායම රුපියල් බිලියන 943ක් බවත්, විවිධ හේතු මත අයකර ගැනීමට නොහැකිව පවතින මුදල රුපියල් බිලියන 767 ක් බව සහ අය කර ගත හැකි මුදල් රුපියල් බිලියන 175ක් බවත්ය. එමෙන්ම හිඟ බදු මුදල් ලෙස මෙම වසර තුළ රුපියල් බිලියන 37 ක මුදලක් අයකර ගෙන ඇති බවද නිලධාරීහු වැඩිදුරටත් පැහැදිලි කළහ.



සෑම වසරකම නොවැම්බර් 30වැනි දින හෝ ඊට පෙර බදු වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබුණු පසු ඉන් අනතුරුව ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි කළ නිලධාරීන් පෙන්වා දුන්නේ එම බදු වාර්තාව ලැබුණු පසු අදාළ නිලධාරියා එම තොරතුරු RAMIS පද්ධතියට ඇතුළත් කරන බවත්, ගැටලු පවතින අවස්ථා හඳුනා ගැනීම සිදු කරන බවත්, ඉන් අනතුරුව විගණනයක් සිදු කරන බවත් සහ ඇතැම් අවස්ථාවන්හිදී යම් පැහැදිලි කිරීම් සිදු කිරීම සඳහා වැඩිදුර තොරතුර ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත්ය.

එසේ තොරතුරු ඉල්ලා සිටින අවස්ථාවන්හිදී බොහෝ විට බදු හිමියන් විසින් තොරතුරු හිතාමතාම ප්‍රමාද කරන බවද නිලධාරීන් විසින් කාරක සභාවට පෙන්වා දෙන ලදි.

බදු වාර්තාව නිලධාරියා විසින් විගණනය කිරීම සඳහා පවතින පනතේ මාස 30ක් හා ඉන් අනතුරුව කොමසාරිස් ජෙනරාල්ට අභියාචනා කළ පසු තවත් වසර දෙකක කාලයක් අභියාචනය විභාග කිරීම සඳහා කාලය පවතින බවත් නිලධාරීහු පෙන්වා දුන්හ. මෙහිදී කාරක සභාව ප්‍රකාශ කළේ කොමසාරිස්වරයාට අභියාචනා විභාග කිරීම සඳහා පවතින වසර දෙකක (02) කාලය වැඩි බවත්, එය මාස හයක් (06) දක්වා අඩු කිරීම යෝග්‍ය බවත්ය.

කෙසේ වුවත් මාස 06 තුළ තීරණය ලබා නොදෙන්නේ නම් තක්සේරු මුදල වෙනස් නොවන බවට උපකල්පනය කළ යුතු බව මෙහිදී අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මේ නිසා බදු ගෙවන්නන් බදු කොමිෂන් සභාවට අභියාචනා කරන්නේ නම් තක්සේරු මුදලින් අවම වශයෙන් 50%ක් ගෙවිය යුතු බවට පනත සංශෝධනය කළ යුතු බවටද මෙහිදී යෝජනා විය.


දිනේෂ් සමරකෝන්