mahiwangana-incident

සිය දරුවන් දෙදෙනාට වස පෙවීමට උත්සාහ කළැයි කියන දෙදරු පියකු බිරිය විසින් එල්ල කරන ලද පිහි පහරකින් මරණයට පත්ව ඇතැයි මහියංගණය පොලිසිය කියයි.



මහියංගණ,කපුරුගස්මුල්ල ප්‍රදේශයේ නිවසක පෙරේදා (06) රාත්‍රියේදී ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් විශ්‍රාමික හමුදා නිලධාරියකු එසේ මියගොස් ඇතැයි පොලිසිය කියයි.

සැමියාගේ නිරන්තර පහරකෑම්වලට වධහිංසාවලට කාලයක් මුළුල්ලේ කාන්තාව ලක්ව ඇති අතර, ඒ සෑම අවස්ථාවකම මරණීය තර්ජන කරමින් දරුවන්ට හා බිරිඳට වස පොවන බවට මරණකරු තර්ජනය කර ඇත.

බිරිඳගේ මවගේ නිවසේ රැඳී සිටි දරුවන් හා බිරිඳ මීට දින කිහිපයකට ප්‍රථම නැවත ආරවුල් ඇති කර නොගන්නා බවට පොරොන්දු දෙමින් යළි නිවසට රැගෙන විත් පෙරේදා (6) රාත්‍රි 10ට පමණ බීමතින් බිරිඳ සමග රණ්ඩු වී ඇති අතර, එම අවස්ථාවේදී වස පොවනු ඇති බවට සැකයක් ඇති වී අතර රණ්ඩුව දුරදිග ගොස් ඇය සැමියාගෙන් බේරීම හා ආත්මාරක්ෂාව පතා සැමියාගේ කකුලට පිහි පහරක් එල්ල කර දරුවන් දෙදෙනා සමඟ පලා ගොස් සැමියාගෙන් සිදුවන කරදර පිළිබඳව මහිංගණ පොලිසියට නැවතත් පැමිණිල්ලක් කර ඇත. පිහි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා රෝහල් ගත කිරීමට කිසිවකු නොමැති වීම හේතුවෙන් රුධිර වහනය අධික ලෙස සිදුවීම නිසා ඔහු නිවස තුළම මිය යන්නට ඇති බවට පොලිසිය විශ්වාස කරන අතර, පිහි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා රාත්‍රියේ රෝහල් ගතකරන විටත් මියගොස් සිට ඇත.

බිරිඳ එල්ලා මරණ බවට තර්ජනය කරමින් දිනක් නිවසේ බාල්කයක කඹයක් ගැට ගසා තිබූ බවද පවුලේ ඥාතීන් පැවැසූ බව පොලිසිය කියයි.



දරුවන්ට හා බිරිඳට පෙවීම සඳහා වස බෝතලයක්ද ඔහු සූදානම් කර තිබූ බව නිවැසියන් පොලිසියට කියා ඇත.

මිය ගොස් ඇත්තේ මහියංගණය, සොරබොර පදිංචිව සිටි වයස 42ක විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකි.

පිහි ප්‍රහාරය කළ බව කියන බිරිය මහියංගණය පොලිසියට භාර වී ඇතැයි පොලිසිය කියයි.

මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් එස්. ගොවින්ද මහතා පෙරේදා (6) දහවල් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළේය.

මීට සති කිහිපයකට ඉහත දී බිරියට කළ පහර දීමක් හේතුවෙන් මෙම මරණකරු පොලිස් අත්අඩංගුවට ගෙන මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිට ඇප මත නිදහස්ව පැමිණ ඇත.

මහියංගණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

   මහියංගණ - රංජිත් කරුණාවීර