malwathu-hiripitiya

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි නාඳුනන සිවු දෙනකු ඊයේ (23) දහවල් කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ එම හිමිනම ගම්පහ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අපවත්වී ඇතැයි මල්වතුපිටිය පොලිසිය කියයි.මෙම වෙඩි තැබීමෙන් අපවත් වූයේ කලපලුවාවේ ධම්මරතන නමැති (45) හිමිනමක බවද පොලිසිය පවසයි.



මෙම හිමිනම හේනේගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කර ඇති අතර එම විහාරස්ථානයේ කලක පටන් පැවැති ඉඩම් ආරවුලක් මත මෙම හිමිනම ඇතැම් දිනවල මල්වතුහිරිපිටිය විහාරස්ථානයට පැමිණ දානය වළඳා නැවත හේනෙගම විහාරස්ථානයට වැඩම කරන බවද පොලිසිය කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත.සිද්ධිය වූ ඊයේ (23) දිනයේ ද මෙම හිමිනම දහවල් 12.15 ට පමණ වි හාරස්ථානයේ දානය වළඳමින් සිටිය දී සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් 4 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව හඟවා විහාරස්ථානයට පැමිණි හිමිනම සතුව මත්කුඩු ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂා කිරීමට ආ බව පවසා ඇත.

පසුව හිමිනම පරීක්ෂා කරන මුවාවෙන් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර පලාගොස් ඇතැයි ද පොලිසිය සිදුකළ මූලික විමර්ශන වල දී අනාවරණය වී ඇත.

හිමිනමගේ වම් අතට සහ පපුව ප්‍රදේශයට වෙඩි වැදී තිබූ බවද පොලිසිය කියයි. එම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ හිමිනම ගම්පහ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අපවත්ව ඇති බව පොලිසිය පවසයි. මෙම වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයන් පැමිණි මෝටර් රථය හඳුනා ගැනීම සඳහා මල්වතුහිරිපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ගයාන් සූරියආරච්චි