manampitiya-incident

දර කැඞීමට ගිය අවස්ථාවේ දිවියකු ඇඟට පැනීම හේතුවෙන් අසල වූ ඇළකට වැටී කිලෝ මීටර් නවයක් පමණ දුරට ගසාගෙන යද්දී මයිල ගසක එල්ලී දින දෙකක් රැඳී සිටි ගැමියකු බේරා ගැනීමට ප්‍රදේශවාසීහු පිරිසක් සමත් වූහ. අනතුරට මූණ පා ඇත්තේ මනම්පිටිය මාගංතොට ගම්මානයේ පදිංචි 66 වියැති කේ. ඩබ්ලිව්. රංජිත් පෙරේරා නමැත්තකු බව ද පොලිසිය කියයි.

ඔහු ඉකුත් පළමුවැනිදා උදෑසන මාගන්තොට කැලෑබද ප්‍රදේශයට දර කැඩීම සඳහා තනිවම යද්දී දිවියකු ඇඟට පැන ඇති අතර ඒ සමගම ඔහු අසල වූ ඇළට වැටී සැඩ පහරට අසුව ගසාගෙන ගිය බව ඔහු පැවැසීය. වතුරට වැටී කිලෝ මීටර් නවයක් පමණ ගසා යද්දී ඔහු මයිල ගසක

එල්ලී ඇති අතර ඔහු අතුරුදන් වීම සම්බන්ධයෙන් බිරිඳ වන ෆාතිමා උම්මා මහත්මිය මනම්පිටිය පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් ද කර තිබිණි.

ඔහුගේ අතුරුදන් වීම දැන ගත් මාගංතොට ගම්මානයේ තරුණයන් ඇතුළු පිරිසක් කැලෑව පීරන්නට වූ අතර රංජිත් පෙරේරා මහතා කරපොළ ප්‍රදේශයේ අඩි 12ක් පමණ උසැති මයිල ගහක සිටින අයුරු ගම්වාසීන් දැක ඇත. පසුව තරුණ පිරිස ඔහු කිලෝ මීටර් දහයක් පමණ කරේ තබාගෙන නිවෙසට ගෙනැවිත් ඔහුට අවශ්‍ය ආහාර සහ සීතල තැබීමට ගිනිමැලයක් සකසා දී තිබේ. එමෙන්ම දින දෙක ඇතුළත තමන් මයිල ගහේ කරල් සහ පොතු ගලවා ආහාරයට ගත් අතර තමන්ගේ ඇඟට දිවියකු පැනීමෙන් අනතුරුව තමන් වතුරට වැටී ගසාගෙන ගිය බවත් එහිදී තමන් මයිල ගහක් අසල රැඳීමෙන් අනතුරුව මයිල ගහට ගොඩවී දින දෙකක් ගත කළ බවද, රංජිත් පෙරේරා මහතා කීය.



මේ පිළිබඳ මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතාගෙන් කළ විමසීමකදී පැවැසුවේ රංජිත් පෙරේරා අතුරුදන්වීම පිළිබඳව ඔහුගේ බිරිඳ පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි. මේ වන විට ගම්වාසීන් විසින් ඔහු සොයාගෙන ඇති අතර ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කර ඇති බව ද සඳහන් කළේය.
 නිමල් ජයරත්න