matara-nilwala-protest

මාතර නිල්වලා ගඟ හරස් කොට ඉදි කර ඇති ලවණ බාධකය නිවැරදි කර දෙන්නැයි ඉල්ලා මාතර දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලය ඊයේ (23දා) උදෑසන ආරම්භ කළ විරෝධතාවක් හේතුවෙන් මාතර නගරයෙහි දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.



දහසකට ආසන්න ගොවීන් පිරිසක් පළමුව මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ අභියස පැමිණ අධිෂ්ඨාන පූජාවක් පවත්වා ඉන් අනතුරුව පෙළපාළියකින් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය ඉදිරිපිටට පැමිණියහ.



මේ නිසා මාතර කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී වාහන ගමනාගමනයට බාධා එල්ල වූ අතර අනෙක් මංතීරුවෙන් වාහන ධාවනය කිරීමට පොලීසිය විසින් කටයුතු කරන ලදී.

කෙසේ වෙතත් එම නිසා මාතර නගරයේ දැඩි රථ වාහන තදබදයක් ඇති වී තිබිණි.

නිල්වලා ලවණ බාධකය නිවැරදි කර දෙන්නැයි බල කරමින් ගොවීහු මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය ඉදිරිපිට අඛණ්ඩ උපවාසයක් ද ආරම්භ කළහ.



තම ගැටලුවට විසඳුමක් ලබා දෙන තුරු එම උපවාසය අත් නොහරින බවට ඔවුහු ප්‍රතිඥාවක් ද දුන්හ.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ අනුනායක ඕමාරේ කස්සප මහ නාහිමියෝ මෙසේ කීහ. “බුද්ධිමත් යයි කියා ගන්න මෝඩ ඉංජිනේරුවන් පිරිසක් දේශපාලඥයන් සමග එකතු වී PAI කොමිස් කට්ටියට යට වී සිදු කළ මේ අමනෝඥ ව්‍යාපෘතිය හේතුවෙන් මාස හතරකට වැඩි කාලයක් අපේ ජනතාව දුක් විඳිනවා. මේ ලවණ බාධකය මහ පොළොව නුහුලන අපරාධයක්. සුදුසු තැන සුදුසු විදියට නිවැරදිව ස්ථාපිත කරලා නෑ. ඒ නිසා පහත් බිම්වල කුඹුරු අක්කර දහස් ගණනක් පුරන් වෙලා. අද ගොවියාට යන එන මං නැති වෙලා. ඒ නිසා වහා මේක නිවැරදි කළ යුතුයි.”

මාතර දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලයේ නියෝජිතයන් වන බන්දුල කෝමංගොඩ හා එරන්ද මැද්දේගොඩ යන මහත්වරු මෙසේ පැවසූහ.



“ලවණ බාධකය නිවැරදි කර දිය යුතුයි. එය කරන තෙක් අතුරු ඇළ මාර්ගය අඩි 150ක් දක්වා පුළුල් කළ යුතුයි. බණ්ඩත්තර පාලම අසල වැලි වැටිය සම්පූර්ණයෙන් ඉවත් කරන්න ඕන. නූපේ ඇළ ජලය බැස යන පරිදි ශුද්ධ කළ යුතුයි. මේ ඉල්ලීම් වලට සාධනීය පිළිතුරක් ලැබෙන තෙක් අපි මේ උපවාසය නිර්පාක්ෂික අඛණ්ඩව පවත්වා ගෙන යනවා. මාස හතරක් අපි මේ වතුර ගොඩකට වැටිලා බැට කනවා. අද අපේ පැති වලින් විවාහයක් කර ගන්නවත් අකමැති තත්ත්වයක් ඇති වෙලා. අපේ කුඹුරු හා භෝග වගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. ඒ නිසා මේ දුක හා වේදනාව දැනෙන්නේ අපේ ගොවි ජනතාවට විතරයි.පාලකයින්ට නෑ."

මාතර, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, අකුරැස්ස, වැලිගම ආදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ගොවි සංවිධාන 65ක නියෝජිතයන් හා ගොවීහු මෙම උද්ඝෝෂණයට සහභාගි වී සිටියහ.

විසඳුමක් ලබා දෙන තෙක් උපවාසය කණ්ඩායම් වශයෙන් සිදු කිරීමට සැලසුම් ඔවුන් විසින් සැලසුම් කර තිබේ.

   ක්‍රිෂාන් ජීවක ජයරුක්