matara-thelijjiwila-murder

යතුරු පැදියකින් පැමිණි නාඳුනන දෙදෙනකු මාතර තෙලිජ්ජවිල නගරයේ ජංගම දුරකතන උපාංග අලෙවි සලකට පෙරේදා (20) රාත්‍රි කඩා වැදී එහි සිටි 22 හැවිරිදි තරුණයකුට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් ඇතැයි මාලිම්බඩ පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ දෙනිපිටිය මූණමල්පේ උඩහගෙදර පදිංචිව සිටි මින්දික අලුත්ගමගේ නමැති 22 හැරිදි අවිවාහක තරුණයෙකි.

මේ තරුණයාට වෙඩි තබා ඇත්තේ අත්වැරදීමකින් බවට සැකකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවැසීය.

මිය ගොස් ඇත්තේ වැලිපිටිය ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණයකු බවත් ඔහු කිසිදු අපරාධයකට සම්බන්ධ නැති අයකු බවත් තල්දූව මහතා කීවේය.

කොරියානු භාෂා විභාගයෙන් සමත්ව සිටි මෙම තරුණයා ඉදිරි දිනෙක රැකියාව සඳහා කොරියාව බලා යෑමට සූදානම්ව සිට ඇතැයි කියති.

තරුණයා තම මිතුරාට අයත් ජංගම දුරකතන උපාංග අලෙවි සලට පැමිණ සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

රාත්‍රී 7.55 ට පමණ යතුරු පැදියකින් පැමිණ ඇති සැකකරුවන් දෙදෙනා ඊලෝඩ් එකක් දැමීමට අවශ්‍ය බව පවසා ඇත. ඒ අවස්ථාවේදී වෙළෙඳ සල ඉදිරිපිට එහි හිමිකරු තවත් අයකු සමග කතාබහ කරමින් සිට ඇති අතර එහි රීලෝඩ් නොමැති බව පවසා තෙලිජ්ජවිල නගරයේ රීලෝඩ් දමන වෙනත් අලෙවි සලක් පෙන්වා ඇත.



ඒ අනුව එම සැකකරුවන් දෙදෙනා අකුරැස්ස දෙසට පිටත්ව ගොස් ඇත.

පසුව වෙළෙඳසලේ හිමිකරුට කොරියාවේ මිතුරකුගෙන් වට්ස්ඇප් දුරකතන ඇමතුමක් ලැබී ඔහු වෙළෙඳසලේ පිටත දකුණු පස අයිනට ගොස් කතා බහ කරමින් සිට ඇති බවත් ඒ අවස්ථාවේදී ඝාතනයට ලක්වූ තරුණයා වෙළෙඳසල් හිමිකරුගේ පුටුවේ වාඩිවී එහි සිට ඇති බවත් පොලිසිය කියයි.

රාත්‍රී 8.03 ට පමණ පෙර කී යතුරු පැදිය යළිත් එම ස්ථානයට පැමිණ ඇත. එහි පිටුපස සිටි නාඳුනන පුද්ගලයකු ලිපි ගොනුවක්ද අතැතිව ඡායා පිටපතක් ලබා ගැනීමට යැයි පවසා එක්වරම වෙළෙඳසලට ඇතුළුවී ඇත. ඒ සමගම වෙළෙඳසලේ හිමිකරුගේ පුටුවේ වාඩිවී සිටි තරුණයාට රිවෝල්වරයකින් වෙඩි තබා යතුරු පැදියේ නැගී මාතර දෙසට පලා ගොස් තිබේ.

 ඔහුගේ හිසට, ගෙලට හා පපුවට වෙඩි ප්‍රහාර හතරක් එල්ල කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් දෙදෙනා පැමිණෙන ආකාරය වෙළෙඳසලේ සවි කර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ පටිගත වී තිබිණි.

කෙසේ වෙතත් වෙඩි වැදුණු තරුණයාට කිසිදු තරහකාරයකු නොසිටි බව පවුලේ ඥාතීන් පොලිසියට ප්‍රකාශ කර ඇත.

මෙය පුද්ගලයා මාරු වීමෙන් වැරැදීමකින් සිදු වූ ඝාතනයක්ද යන්න පිළිබඳව පොලිස් පරීක්‍ෂණ කණ්ඩායම්වල අවධානය යොමුවී තිබේ.

එසේම එම වෙළෙඳසලේ හිමිකරුට කිසියම් තර්ජනයක් තිබුණේද යන්න පිළිබඳව පොලිසිය ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යයි.

තමා 2019 වසරේ සිට එම වෙළෙඳසල පවත්වාගෙන ගොස් තිබුණත් සතුරු බලපෑමක් නොතිබුණු බව ඔහු පොලීසියට පවසා ඇත.

ඝාතනයට ලක්වූ තරුණයාගේ මහේස්ත්‍රාත් පරීක්‍ෂණය පෙරේදා (20) රාත්‍රි පැවැත්විණි.



මහේස්ත්‍රාත් නියෝගයෙන් එම තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මාතර මහ රෝහලට රැගෙන විත් ඇත.

පලාගිය ඝාතකයන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක් ආරම්භකර තිබේ.

ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහායද ලබාගෙන ඇත.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි I අයි.ජී. චන්ද්‍රසේන හා මාතර අපරාධ කොට්ඨාසයේ සහකාර අධ්‍යක්‍ෂ මහින්ද කල්දේරා යන මහත්වරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීහු පිරිසක්ද ඝාතනය වූ ස්ථානයට පැමිණියහ.

මාලිම්බඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති උපුල් චමින්ද මහතා ඇතුළු කණ්ඩායමක් මූලික විමර්ශන පැවැත්වීය.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් නිලධාරීහු කණ්ඩායම් හතරක් මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.