මාතලේ රත්තොට පුස්සැල්ල නවෝද්‍යා විද්‍යාලයේ එකොළහ වසරෙහි ඉගෙනුම ලැබූ සිසුවකු එම විද්‍යාලයේ තැඹිලි ගසට නැග තැඹිලි කැඞීමට යාමේදී විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි රත්තොට පොලිසිය පවසයි.මෙසේ මරණයට පත්ව ඇත්තේ කළුගල්තැන්න ගම්මඩුව ප්‍රදේශයේ පදිංචි දසනායක අසලංක ඉඳුවර නමැති එකොළහ වසරෙහි ඉගෙනුම ලබන වයස අවුරුදු 16 ක සිසුවෙකි.




විද්‍යාලයේ පැවැත්වීමට නියමිත කෘෂිකර්ම කටයුත්තක් සඳහා පෙරේදා 15 වැනිදා විද්‍යාලයට පැමිණෙන ලෙස විද්‍යාලයේ කෘෂිකර්ම ආචාර්යවරයාගෙන් ලද පණිවිඩයකට අනුව මෙම සිසුවා උදෑසන විද්‍යාලය වෙත ගොස් ඇති බවට පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි පොලිසිය කියයි. කෘෂිකර්ම ආචාර්යවරයාගේ පැමිණීමේ ප්‍රමාදයක් හේතුවෙන් එහි පැමිණ සිටි පාසල් සිසුන් විද්‍යාලයේ තැඹිලි ගසකින් තැඹිලි කැඩීමට තීරණය කර මෙම සිසුවා තැඹිලි ගසට නැග තිබෙන බව පොලිසිය පවසයි.

තැඹිලි ගෙඩිය කඩා බිමට දැමීමෙන් තැඹිලි පුපුරා යන බැවින් තැඹිලි ඉත්ත පිටින් බෑමට සිසුන් තීරණය කර ගසේ සිටි සිසුවාට තැඹිලි බෑම සඳහා විද්‍යාලයේ තිබූ කඹයක් විසිකර ඇති අතර

එම කඹය සිසුවාට අල්ලාගැනීමට නොහැකිවීමෙන් තැඹිලි ගස අසල වූ පාසල් ගොඩනැගිල්ලේ වහලට විසිව ගොස් ඇතැයි පරීක්ෂණවලදී හෙළිවී ඇත.වහලයට ගිය කඹය ලබාගැනීමට උණ කෙක්කක් බිම සිටි සිසුන් ගස මත සිටි සිසුවාට ලබාදී ඇති අතර එම කෙක්ක ආධාරයෙන් කඹය ලබාගැනීමට උත්සාහ කිරීමේදී ඒ අසලින් ගමන් කළ විදුලි රැහැනක උණ කෙක්ක ගැටී විදුලිසර සිසුවාට වැදීමත් සමග සිසුවා ගසින් බිමට වැටී ඇති බවට මූලික පරික්ෂණවලදී හෙළි වී ඇතැයි පොලිසිය කියයි.



බිමට වැටුණු සිසුවා එහි සිටි අනිත් සිසුන් විසින් රත්තොට රෝහල වෙත ඇතුළත් කරනු ලැබ ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්තොට රෝහලින් මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත සිසුවා ඇතුළත් කළද ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවට රෝහල් ආරංචි මාර්ග පවසයි. මේ පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය මාතලේ වැඩ බලන මහේස්ත්‍රාත් ලසන්ත බාලසූරිය මහතා විසින් සිදුකරනු ලැබීය. රත්තොට පොලිසිය පරීක්ෂණ පවත්වයි

රවින්ද්‍ර විරාජ් අබයසිරි