mathale-incident

මාතලේ මහ නගර සභාව මගින් පාලනය වන ආදාහනාගාරයේ මළසිරුරු ආදානය කිරීමෙන් ලද ආදායමෙන් රුපියල් 550,000ක මුදලක් වංචා කළ මාතලේ මහ නගර සභාවේ සරප් නිලධාරිනිය සැකපිට අත්අඩංගුවට ගෙන මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ සැකකාර කාන්තාව මෙම මස 30වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතලේ දිසා මහේස්ත්‍රාත් අර්.පී.කේ.එන්. රන්කොත්ගේ මහත්මිය ඊයේ (18දා) නියෝග කළාය.



මෙසේ සැකපිට අත්අඩංගුවට පත්ව ඇත්තේ මාතලේ මඟ නගර සභාවේ සරෆ්වරිය ලෙස සේවය කළ නයනා ප්‍රියදර්ශනී නමැති කාන්තාවකි. මෘත දේහයක් ආදාහනය කිරීම සදහා මඟ නගර සභා සීමාව තුළ පදිංචිකරුවෙකු නම් රුපියල් 20,000ක් අය කිරීමට හා මහ නගර සභා සීමාවෙන් පිටත මෘත දේහයක් සදහා රුපියල් 25,000ක මුදලක්අය කිරීමට මහ නගර සභාව තීරණය කර ඇති නමුත් මාතලේ මහ නගර සභා සීමාව තුළ මෘත දේහයක් ආදානය කිරීමට රුපියල් 25,000 බැගින් බිල්පත් ව්‍යාජ ලෙස වෙනස් කරමින් මෙසේ එක් මළසිරුරකින් රුපියල් 5000 බැගින් ලබාගෙන රුපියල් 550,000ක මුදලක් වංචා කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව 1982/අංක 12 පොදු දේපළ පනත යටතේ අදාළ කාන්තාව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.



මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ උපදෙස් පරිදි මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමිත බණ්ඩාර, උපපොලිස් පරීක්ෂක පේමරත්න සෙනෙවිරත්න,කාන්තා උප පොලිස් පරීක්ෂක සදුනි කාන්තා පොලිස්සැරයත් ශාලිකා යන අය විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

මාතලේ -රවීන්ද්‍ර විරාජ් අබයසිරි