meetiyagoda-incident

මීටියාගොඩ, ප්‍රදේශයේ ජනතාව බියගන්වමින්, රේස් බුකියක් පවත්වාගෙන යන මුවාවෙන් මහා පරිමාණයෙන් නීති විරෝධී මත්පැන් බෙදාහැරිය බව කියන පුද්ගලයකු නීති විරෝධී මත්පැන්ද සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

සැකකරු ප්‍රදේශයේ ජන ජීවිතවලට විවිධ බලපෑම් එල්ල කරමින් ජනතාවට පහරදෙමින් සහ තර්ජනය කරමින්, මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවත්, ඔහුගේ මස්සිනා බලපිටිය ප්‍රදේශයේ පොලිසියක උපපොලිස් පරීක්ෂකවරයකු වශයෙන් සේවය කිරීම හේතුවෙන්,

ඔහුගේ ආශිර්වාදය මැද මෙම මත්පැන් බෙදාහැරීමේ ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවත් විශේෂ කාර්ය බළකාය පවසයි.

නීති විරෝධී මත්ද්‍රව්‍ය නිසා ප්‍රදේශයේ ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වන බවට ප්‍රදේශයේ ජනතාව මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත දුන් තොරතුරක් මත පෙරේදා (3) පස්වරුවේ මීටියාගොඩ ඩොමී ජයවර්ධන මාවතේ සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවද විශේෂ කාර්ය බළකාය කියයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ නීති විරෝධී මත්පැන් ලීටර් 40ක් තිබී ඇත.

මෙම සැකකරු නිවසේ රේස් බුකියක් පවත්වාගෙන යන මුවාවෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සිදුකරගෙන ගොස් ඇති අතර,

පොලිසියෙන් බේරීම සඳහා ඔහුගේ නිවස වටා ආරක්ෂිත කැමරා සහ විවිධ ආරක්ෂිත ක්‍රම සහ පෞද්ගලික ඔත්තුකරුවන් යොදා ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී ඇති බවද විශේෂ කාර්ය බළකාය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරු 47 හැවිරිදි පුද්ගලයකු වන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු මීටියාගොඩ පොලිසියට බාර දී ඇත.
 ඉන්දිකා රාමනායක