මෝදර පොලිසියේ අවි ගබඩාවෙන් අතුරුදන් පිස්තෝලයක් ක්ෂණික මාර්ග බාධක සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් මෙම පිස්තෝලය මගින් අපරාධයක් සිදුකර ඇත්ද? එය අතුරුදන් කළේ කවුරුන්ද? යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් ඊයේ (10) පැවසීය.
සී ඉසෙඩ් 75 වර්ගයේ මෙම පිස්තෝලය ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිදුකළ ක්ෂණික මාර්ග බාධක සෝදිසි මෙහෙයුමකදී යතුරුපැදිකරුවන් දෙදෙනකු රැගෙන ගිය බෑගයේ තිබී අත්අඩංගුවට ගෙන ඇති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා කීය.
සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා මෙසේද අධිකරණයට පැවසීය.
අත්අඩංගුවට ගත් මෙම පිස්තෝලයේ තොරතුරු අනුව එය මෝදර පොලිසියේ අවි ගබඩාවේ තිබූ ගිනි අවියක් බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. එම ගිනි අවිය මෝදර පොලිසියෙන් පොලිස් මධ්‍යම අවි ගබඩාවට 2015 වසරේදී යොමු කර ඇති බවට තොරතුරු සටහන් කර ගිනි අවිය අතුරුදන් කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වුණා.
අවි ගබඩාව බාර සැරයන්වරයාගෙන් ලබාගත් ප්‍රකාශයක් අනුව තවදුරටත් විමර්ශන සිදු කරගෙන යනවා. එවකට එම පොලිසියේ සිටි පොලිස් ස්ථානාධිපති වත්මන් සහකාර පොලිස් අධිකාරි සුජීව විජයසේන මහතාගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා. ගිනි අවිය අතුරුදන් කිරීමෙන් පසුව එම ගිනි අවිය වෙනුවට වෙනත් ගිනි අවියක් මධ්‍යම අවි ගබඩාවට යවා ඇද්ද යන්න පිළිබඳවත් විමර්ශන සිදුකෙරෙනවා. ගිනි අවිය නීතිවිරෝධීව සන්තකයේ තබාගත් තරුණයන් දෙදෙනා සම්බන්ධයෙන් ගම්පහ අධිකරණයේ වෙනත් නඩුවක් විභාග වෙමින් තිබෙනවා.
ගිනි අවිය අතුරුදන් කළ සැකකරුවන් අනාවරණය කර අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව හා පොදු දේපළ පනත යටතේ නඩු පැවරීමට කටයුතු කරනවා.
සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා සැකකරුවන් අනාවරණය කර කඩිනමින් විමර්ශන ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස දන්වමින් නියෝග නිකුත් කළේය.
රෝෂන් තුෂාර
0 Comments