“මියගොස් සිටින්නේ මගේ අම්මා සහ නංගි. අම්මගේ පපුවේ අමාරුවකට කොළඹ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගන්නවා. ඒ අනුව ඉකුත් 3 වැනිදා දවල් එකට පමණ කොළඹ යාමට නිවෙසින් පිටව ගියා. ප්‍රතිකාර ලබාගෙන ආපසු දක්ෂිණ අධිවේගි මාර්ගයේ එමින් සිටියදී. අම්මලා පැමිණි වෑන් රථය කුරුදුගහ පිවිසුම සිට ගාල්ල දෙසට වන්නට ඉදිරියෙන් ගිය ලොරියක පිටුපස ගැටී අනතුරට පත්ව තිබෙන බව දැන ගත්තා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ පිවිසුම ආසන්නයේ සිදුවූ රිය අනතුරෙන් මියගිය මවගේ යහ දියණියගේ මරණ පරීක්ෂණවලදී සමරසිංහ කොඩිතුවක්කු ආරච්චිගේ ඉන්දික අසන්ත යන අය සාක්කි දෙමින් එසේ කීය.
මෙසේ මියගොස් ඇත්තේ අම්බලන්තොට ලුණම පදිංචි එදිරිමුණි රිටා හැරියට් (59) වන මව සහ බරවකුඹුක ලංකා බැංකු ශාඛාවේ සහකාර කළමනාකාරිණි සමරසිංහ කොඩිතුවක්කු ආරච්චිගේ උමේෂිකා මධුණි (30) යන දියණියයි.
මේ පිළිබඳ මරණ පරීක්ෂණ කරාපිටිය රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් පවත්වන ලද අවස්ථාවේ සාක්කිකරු මෙසේද කිය.
‘‘අම්මාට මාස කිහිපයක සිට පපුවේ අමාරුවක් සඳහා කොළඹ පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගන්නවා. ඒ අනුව ඊයේ (03වැනිදා) බැංකුවේ සුබ සාධක සංගමයේ වෑන් රථයෙන් කොළඹ ගියා. වෑන් රථයේ රියැදුරු ලෙස පිට කෙනෙක් සිටියා. නංගිගේ යාලුවෙකුත් ලොකු නංගිගේ පුතාත් ගියා.
සවස හයයි තිහට පමණ වෛද්‍යවරයාට පෙන්වා දක්ෂිණ අධිවේගි මාර්ගයේ ආපසු එමින් සිටියදි රාත්‍රි දහයයි හතළිහට පමණ කුරුඳුගහ පිවිසුමේ සිට කිලෝමීටර් තුනක් පමණ ගාල්ල දෙසට වන්නට ඉදිරියෙන් ගමන් කළ ලොරි රථයක පිටුපස වෑන් රථය ගැටී තිාබනවා. රාත්‍රී දොළහට විතර මට දුරකතන ඇමතුමක් ආවා. මම රෝහලට ආවා. අම්මා ඒ වනවිටත් මියගොස් සිටියා. නංගී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටියා. අප රෝහලේම සිටියා.
නංගිත් පසුදා උදේ නැති වුණා. මේ මරණ ගැන සැකයක් නැහැ."
මියගිය සමරසිංහ කොඩිතුවක්කු ආරච්චිගේ උමේෂිකා මධුනි යන අයගේ සැමියා වන ලංකා බැංකුවේ කළමනාකාර ගමගේ ටිශාන් චේලක යන අය සාක්කි දෙමින් මෙසේ කීය.
‘මියගොස් ඇත්තේ මගේ බිරිඳ සහ බිරිඳගේ අම්මාය. බිරිඳට අසනීප තිබුණේ නැහැ. අම්මාගේ පපුවේ අමාරුවකට ප්‍රතිකාර ගන්න යාලුවෙකුත් එක්ක බිරිඳ කොළඹ ගියා. අපගේ බැංකුවේ සුබ සාධක සංගමයේ වෑන් රථයෙන් ගියේ.
ප්‍රතිකාර ගෙන ආපසු එන අතරමගදී වූ අනතුර ගැන බිරිඳගේ යාළුවෙකුගේ මහත්තයා කතා කරල කිව්වා. මම ඒ වෙලාවෙම කරාපිටිය රෝහලට ආවා. අම්මා මියගොස් තිබුණා. බිරිඳ දැඩි සත්කාර ඒකකයේ සිටියා. පසුව බිරිඳත් මියගියා."
කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ජේ.එස්.ජී.පීරිස් මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අනුව මෙම මරණ දෙකම රිය අනතුරකින් හිස් කබලට සහ මොළයට හානි සිදුවීමෙන් වූ මරණ දෙකක් බවට හදිසි මරණ පරීක්ෂකවරයා නිගමනය කළේය.
කුරුඳුගහහැතැක්ම පොලිසියේ උප පොලිස් පරීක්ෂක ජයසුමන මහතා සමග සැරයන් චම්ලි (54448) මහතා සාක්කි මෙහෙයවීය.
උණවටුන ඩී.ජී. සුගතපාල
0 Comments