nalin-bandara-speaks
ජනාධිපතිවරණ උණුසුමත් සමග සමගි ජනබලවේගය සමග එක්වීමට ආණ්ඩුවේ ප්‍රබලයන් ඇතුළු විශාල පිරිසක් නිරන්තරයෙන් ඉල්ලීම් කරමින් සිටියද සජබයට බඳවා ගන්නේ පිරිසිදු දේශපාලඥයන් පමණක් බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.


ඊයේ(17දා) ගලගෙදරදී පැවති හමුවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.



මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා,

2024 වසදී ජනාධිපතිවරණය මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයත් පැවැත්වෙනවා. කොයි මැතිවරණය මුලින් එයිද කියන්න බෑ. නමුත් අපි සමගි ජන බලවේගය හැටියට ඕනෑම මැතිවරණයකට වෙනදටත් වඩා ජවයකින් සූදානමින් ඉන්නවා. විශේෂයෙන් 2024 වසර අපේ රටේ ජනතාවට ජීවත් වීම පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් ඇති කරල තියෙන වසරක්. අපට වාර්තා වෙලා තියෙනවා මේ අවසන් සති දෙකේ 50කට වැඩි ප්‍රමාණයක් සිය දිවි නසා ගෙන තියෙනව කියලා. ඒකෙන් පේනවා මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ජීවත් වෙන්නේ කියලා. වගකිවයුතු විපක්ෂයක් හැටියට ඉතාම කඩිනමින් මේ ආණ්ඩුව ගෙදර යවන දැවැන්ත සටන දැනටමත් ආරම්භ කරල තියෙනවා. එළඹෙන මාස දෙක තුනක් ඇතුළත අපි පක්ෂයක් හැටියට දැවැන්ත ලෙස ඉදිරියට එනවා.



එක එක වුවමනා වෙනුවෙන් පිල් මාරු කරන අය සිටින නිසා සමගි ජන බලවේගයට යම් කිසි කෙනෙක් බඳවා ගන්නවා නම් අපි ඒ අය පිළිබඳව හොඳට හොයල බලල තමයි භාර ගන්නේ. අපට ගොඩක් අය ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වෙලා තියෙනවා. ගොඩක් අය අපිත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තුවෙන් අපිත් එක්ක කතා කරනවා. නමුත් ඒ සියලු දෙනා එකතු කර ගන්න පුළුවන්කමක් නෑ. ජාතිවාදීන්, අන්තවාදීන් පහුගිය කාලයේ මේ රට බංකොලොත්භාවයට ඇදදාන්න කටයුතු කළා. වගකිවයුතු අය රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු කැබිනට් ඇමතිවරු හොරකම් කරපු අය වගේ අය අපට සම්බන්ධ කර ගන්න බෑ. තෝරා බේරා ගත් පිරිසක් පමණයි අපි සමගි බලවේගයට බඳවා ගන්නේ” යැයිද කීය.

මහනුවර මොහොමඩ් ආසික්