naula-incident

අප රටේ පළමු වතාවට දෘෂ්ටි මායාවක් සහිත ස්ථානයක් සොයා ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට ඊයේ(01දා) හැකි විය.මෙම දෘෂ්ටි මායාව සහිත ස්ථානය නාඋල ඇළහැර ප්‍රධාන මාර්ගයේ මොරගහකන්ද ජලාශයට ආසන්නව ප්‍රදේශයෙහි පිහිටා තිබේ.

අහම්බෙන් මෙම ස්ථානය පිළිබඳව අවධානය යොමුවූ හිටපු යුද හමුදා කර්නල්වරයකු වන රත්නප්‍රිය බන්දු මහතා මේ පිළිබඳව මහාචාර්යවරයාට වීඩියෝ මගින් දැනුම් දීමත් සමග ජනවාරි පළමුවැනිදා උදෑසන මහාචාර්යවරයා එම ස්ථානයට පැමිණ පරීක්ෂාවට ලක් කරමින් මෙවැනි ස්ථානයක් ලංකාවේ හමු වූ ප්‍රථම අවස්ථාව බවත්, තවත් රටවල් කිහිපයක මෙවැනි ස්ථාන දැනට හඳුනාගෙන ඇති බවත් පෙන්වා දුන්නේය.



මෙම ස්ථානය බැලූ බැල්මට දර්ශනය වන්නේ කන්දක් වශයෙනි. එමෙන්ම එම මාර්ගයේ කන්ද අවසානයේ පල්ලම බසිනා මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ග සලකුණක්ද සවිකොට තිබේ . මහාචාර්ය, ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ අතුල සේනාරත්න මහතා ජලය පිරවූ ප්ලාස්ටික් බෝතලයක් කන්ද පටන් ගන්නා ආසන්නයේ තැබීම සිදු කරද්දී එය එකවරම කන්ද ඉහළට පෙරළීගෙන යන දසුන දැක ගැනීමට හැකිවිය. පසුව මහාචාර්යවරයා ගූගල් සිතියම හරහා එම ස්ථානය පිළිබඳව සොයා බැලීම සිදු කර ඇත.

එහිදී ඔහු සඳහන් කළේ මෙය දෘෂ්ටි මායාවක් බවය. එම ස්ථානය වටපිටාව දර්ශනය වන ආකාරයෙන් දෘෂ්ටි මායාවක් බව ඔහු පෙන්වා දුන්නේය. එනම් ඈතින් දිස්වෙන කඳු පෙළ අවට කැලෑ බද ස්ථානයේ ඇස දෘෂ්ටි මායාවක් සේ වෙනස් වන බවත්, බැලූ බැල්මට එය කන්දක් ලෙස දිස්වෙන බවත්ය. එහෙත් විද්‍යාත්මකව ගූගල් සිතියම අනුව එය කන්දක් නොව ඉතා සියුම් පල්ලමක් සහිත ස්ථානයක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මෙරට තුළ මෙවැනි දෘෂ්ටි මායා ස්ථානයක් මෙතෙක් සොයා ගැන නොමැති බවත්, තමන් දැනුවත්ව මෙවැනි දෘෂ්ටි මායා සහිත ස්ථාන ඉතාලියේ හා ඕමාන් රටේත් යුරෝපා රටවල් කීපයක හඳුනාගෙන ඇති බවත් ඒ මහතා පැවසීය.



මෙහි කන්ද ආරම්භ වන ස්ථානයෙන් වාහනයක් පණ ගැන්වීමකින් තොරව නිදහස් ගියරයට දැමූ විට වාහනය කන්ද උඩට පැයට කිලෝමීටර් දහයක පමණ වේගයකින් ගමන් කරන ආකාරය නික්‍ෂණය කර ගැනීමට මහාචාර්යවරයාට හැකිවිය.

ඒ අනුව වාහන කිහිපයක් ස්ථානයේදී පරීක්ෂාවට ලක් කෙරිණ. එහිදී ද අනාවරණය වූයේ ඇසට කන්දක් ලෙස පෙනෙන නිසා එය කන්දට නගින වාහනයක් ලෙස දර්ශනය වන බවය.යුද හමුදාවේ හිටපු කර්නල්වරයකු වන රත්නප්‍රිය බන්දු මහතා කියා සිටියේ අහම්බෙන් තමන් ඇතුළු කණ්ඩායමක් මෙම ස්ථානයේ සිටින අවස්ථාවක මෙය දැකගැනීමට හැකි වූ බවය.

ඒ අනුව එහි සත්‍යතාව කුමක්දැයි රටට පෙන්වා දීමට උචිතම පුද්ගලයා වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ අතුල සේනාරත්න මහතාට තමන් වීඩියෝ පට රැසක් යැවූ බව ඔහු පැවසීය.

මෙය මොරගහකන්ද ජලාශය ආසන්නයේ පිහිටා තිබීමත්, දිවයිනේ ප්‍රථම වතාවට මෙවැනි ස්ථානයක් අනාවරණය කර ගැනීමත් නිසා මෙහි සංචාරක ආකර්ෂණයක් ලොවට කියාපෑමටද හැකිවනු ඇති හෙයින් තමන් මෙය දැනුම් දුන් බවද හෙතෙම සඳහන් කළේය.

    එස්. කරුණාරත්න