පිරමීඩ ආකාරයට රුපියල් කෝටි 100කට අධික මුදලක් රැස් කළ 'ඔන්මැක්ස් ඩී.ටී.' නමැති නීතිවිරෝධී මූල්‍ය ආයතනයේ මෙහෙයුම්කරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (11දා) වරෙන්තු නිකුත් කළේය.
පිරමීඩ ආකාරයට මුදල් රැස් කිරීමේ සිද්ධියේ මහමොළකරු මෙන්ම 'ඔන්මැක්ස්' පරිගණක පද්ධතිය නිර්මාණය කළ බවට තොරතුරු ලැබී ඇති මෙම සැකකරු පොලීසිය මඟ හරින්නේ යැයි කියමින් රහස් පොලීසිය කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් එලෙස වරෙන්තු නිකුත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරුව එලෙස වරෙන්තු නිකුත් කරන ලද්දේ 'ඔන්මැක්ස් ඩී.ටී.' නමැති නීතිවිරෝධී මූල්‍ය ආයතනයේ මෙහෙයුම්කරු බව කියන පන්නිපිටියේ ගයාන් චාමර වික්‍රමතිලක නමැත්තාය. ශ්‍රී ලංකා මහ බැංකුව කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අතර විමර්ශනයේදී හෙළි වූ කරුණු අනුව මෙම නීතිවිරෝධී මූල්‍ය ආයතනයේ අධ්යක්ෂවරුන් පස්දෙනකු පසුගිය ජූලි මස 12වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ අතර පසු අවස්ථාවකදී ඔවුන්ගේ විදේශ ගමන් තහනමක් පනවමින් ඔවුන් ඇප මත මුදා හැර ඇත.
මෙලෙස කොන්දේසි සහිතව ඇප මත මුදාහැර ඇත්තේ 'ඔන්මැක්ස් ඩී.ටී.‘ නමැති නීතිවිරෝධී මූල්‍ය ආයතනයේ අධ්යක්ෂවරුන් වන ඉන්දික සම්පත්, ගයාෂාන් අබයරත්න, සම්පත් සඳරුවන්, සාරංග රන්දීප සහ ධනංජය ජයාන් නමැත්තන්ය.
සිද්ධියට අදාළ කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශනය ඒකකයේ පොලිස් සැරයෙන් රුවන් මහතා 'ඔන්මැක්ස්’ නමැති නීති විරෝධී මූල්‍ය ව්‍යාපාරය විදේශීය රටක හෝ විදේශීය ආයතනයක නියෝජිත ආයතනයක් නොවන බවත්, ගයාන් චාමර වික්‍රමතිලක නමැත්තා එම නීතීවිරෝධී මූල්‍ය ව්‍යාපාරයේ නිර්මාතෘ බවත් දැනුම් දුන්නේය.
මෙම නීති විරෝධී මූල්‍ය ව්‍යාපාරයට අදාළ පරිගණක පද්ධතිය මෙහෙයවීම සඳහා සැකකරු මුරපද හයක් භාවිතා කර ඇති බවත්, එම මුරපද හඳුනාගැනීමට සැකකරු අත්අඩංගුවට ගතයුතු බවත්, දැනුම් දුන් සැරයන් රුවන් මහතා ක්‍රිස්ටො කරන්සි ක්‍රමයට තැන්පත්කරුවන්ගෙන් මුදල් එකතු කර එම මුදල් සඟවා තැබුවේ යැයි කියන පරිගණක දෘඩාංග(වොලට්) 07ක්ද, පරිගණක දත්ත ගබඩා 04ක් සහ ඒ සඳහා භාවිත කළ ස්මාට් දුරකථන 05ක් අඩංගු නඩු භාණ්ඩ 16ක් ද අධිකරණයට ඉදිරිපත් කළේය.
ප්‍රකාශ ගැනීම සඳහා සැකකරුට රහස් පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නත් ඔහු පොලීසියට නොපැමිණි බවත්,
ඔහු සෙවීම සඳහා පොලිස් නිලධාරීන් ඔහුගේ නිවසට ගියත් ඔහු එහිද නොමැති බවත් දැනුම් දුන් සැරයන් රුවන් මහතා පොලීසිය මඟ හරින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය. රහස් පොලීසිය කළ ඉල්ලීම පිළිගනිමින් සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කළේය.
බුද්ධිමාල් රුබේරු
0 Comments