padukka-incident

පාදුක්ක, හල්පේ, මින්විසිතුරුගම ගම්මානයේ, පුද්ගලයන් දෙදෙනකු අතර ඉකුත් 9 වැනිදා පස්වරුවේ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් එක් අයකුගේ වම් අත මැණික් කටුව ළඟින් වෙන්වී යන ලෙස මන්නයකින් කොටා පොලිසිය මග හරිමින් සිටි සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.



මෙලෙස බරපතළ ලෙස තුවාල ලබා ඇත්තේ පාදුක්ක, හල්පේ. පදිංචි එම්.ජී. සමන් කුමාර නමැති අයකු බවත්, සිද්ධියෙන් පසුව ඔහු, ප්‍රථමයෙන් පාදුක්ක රෝහලටත්, ඉන්පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලටත් යවා ඇතැයි පොලිසිය පවසයි.

කැපුම් තුවාල සිදුකළ පුද්ගලයා පාදුක්ක නගරයට පැමිණ යතුරු පැදියට ඉන්ධන ලබාගෙන යන අතර වාරයේ, හල්පේ ප්‍රදේශයේ දී තුවාලකරු සමග පැරණි ආරවුලක් සම්බන්ධයෙන් බහින් බස් වීමක් ඇතිවී ඇත. එහිදී ප්‍රථමයෙන් තුවාලකරු යතුරු පැදියේ පැමිණි පුද්ගලයාට මුගුරකින් පහර දී ඇති අතර, ඊට ප්‍රතිචාර වශයෙන් යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයා ඔහු ළඟ තිබූ මන්නාපිහියකින් තමන්ට මුගුරකින් පහර දුන් පුද්ගලයාගේ වම් අතට පහරදීමෙන් ඔහුගේ වම් අතේ මැණික් කටුව අසලින් අත වෙන්වී, තවත් කැපුම් තුවාල දකුණු අතට සහ නළල ප්‍රදේශයට සිදු වී ඇතැයි පොලිසිය පවසයි.

මීට වසර දෙකකට පමණ ඉහත දී මොවුන් දෙදෙනා අතර දරුවකුට පහරදීමක් සම්බන්ධයෙන් ආරවුලක් තිබූ බවද පොලිසිය පවසයි.



සැකකරු 11දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානායක මහතාගේ උපදෙස් මත, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ ජයසිංහ, පොලිස් සැරයන් 31353 චමින්ද, පොලිස් කොස්තාපල්වරුන් වන 92513 මධුශංක, 9695 චමෝද යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

නිහාල් වෙත්තසිංහ