parliament-24

 පාර්ලිමේන්තුව (නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභා වාරය) මෙම 24 වැනිදා වාර අවසාන කිරීමට නියමිත බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ. ඒ අනුව පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා අතින් නැවත උත්සවාකාරයෙන් විවෘත කෙරෙන්නේ පෙබරවාරි මස 7 වැනිදාය.



මේ අතර මෙම මස පාර්ලිමේන්තුව අවසාන වරට රැස්වන්නේ 23 - 24 දිනවලය.පාර්ලිමේන්තුව එම දින දෙකේදී පමණක් රැස්වන්නේ 25 වැනිදා පොහොය යෙදී ඇති නිසා යැයි පාර්ලිමේන්තු ප්‍රධානියෙක් පැවසීය. පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග කෝප්, කෝපා ඇතුළු කාරන සභා පනහකට වැඩි සංඛ්‍යාවක් අහෝසි වී යන්නේය. ඒ අනුව එම කාරක සභා සියල්ල නැවත පිහිටුවිය යුතු වෙයි.

වාර අවසාන කිරීමත් සමඟ අහෝසිවී නොයන්නේ උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, විශේෂ කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභා පමණි. පාර්ලිමේන්තුව අවසාන වරට වාර අවසාන කෙරුණේ පසුගිය වසරේ ජනවාරි මස 27 වැනිදාය. එසේ වාර අවසාන කෙරුණේ නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරයයි.


අංජුල මහික වීරරත්න