peradeniya-finger-print-fraud

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන සහායක කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 963 දෙනකුට 2021 - 2022 වර්ෂවලදී පැමිණීම හා පිටවීම ඇඟිලි සලකුණු යන්ත්‍රයකින් තහවුරු කරගැනීමෙන් තොරව රුපියල් කෝටි 636 කට වැඩි වැටුප් හා දීමනා නීති විරෝධී ආකාරයට ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩල නිලධාරීන් 59 දෙනකුට කිසිදු අන්තර් පර්යේෂණ වාර්තාවක් හෝ අවසන් පරේක්ෂණ වාර්තාවක් හෝ ලබා ගැනීමකින් තොරව රුපියල් අටකෝටි තිස්හත් ලක්ෂයකට වැඩි මුදලක් පර්යේෂණ දීමනා ලෙස ගෙවා ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ. නිලධාරීන්ට 2014 නොවැම්බර් මස 1 වැනිදා සිට 2022 – අගෝස්තු 31 වැනිදා දක්වා කාලයේදී මෙම පර්යේෂණ දීමනා ගෙවා ඇත්තේ පර්යේෂණ කළමනාකරණ කමිටුවේ අනුමැතියකින් තොරව බවද වාර්තාවේ දැක්වේ.



එසේම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයන්හි නිලධාරීන් නව දෙනකු සඳහා පසුගිය වසරේ ජනවාරි මාසයේදී ජර්මනිය හා ඉතාලිය යන රටවල පුහුණු වැඩසටහන්වලට සහභාගී වීම වෙනුවෙන් රුපියල් ලක්ෂ හැට හතක මුදලක් විශ්ව විද්‍යාල අරමුදලින් නීති විරෝධී ආකාරයට ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

දේශීය අරමුදල් යොදාගෙන ලබන විදේශ අධ්‍යයන චාරිකා හා පුහුණු වැඩසටහන්වලට සහභාගිවිය නොහැකි බවට චක්‍රලේඛයකින් දැනුම්දී තිබියදී මෙසේ මුදල් ගෙවා තිබූ බවද එහි දැක්වේ.විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරි තනතුරේ රාජකාරිය ආවරණය කිරීමේ පදනමින් පත් කෙරුණු නියෝජ්‍ය ලේඛකාධිකාරිවරියට ආයතන සංග්‍රහයේ හා චක්‍රලේඛයේ විධිවිධාන වලට පටහැනිව 2021 ජනවාරි සිට 2023 පෙබරවාරි දක්වා ඉන්ධන හා ප්‍රවාහන දීමනා ලෙස රුපියල් ලක්ෂ දහතුනකට වැඩි මුදලක් ද විනෝදාස්වාද දීමනා ලෙස දෙලක්ෂ හැත්තැ දහස් හාරසීයක මුදලක් ද වා තිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි.



ආචාර්ය උපාධිය සම්පූර්ණ නොකිරීම  හේතුවෙන් කථිකාචාර්යවරියක රුපියල්  එක්කෝටි හතළිස් ලක්ෂයක බැඳුම්කරය කඩ කර වසර හයකට වැඩි කාලයක් ගත වී තිබුණ ද එම මුදල අය කර ගැනීමට කටයුතු කර නොතිබූ බව පවසන වාර්තාව ඇය මෙලෙස ගිවිසුම කඩ කර තිබුණේ 2010 ඔක්තෝබර් 11 දින සිට 2016 ජුලි මස 27 දක්වා වූ ගිවිසුම් ගත කාල සීමාවේදී බවද සඳහන් කරයි.

වැටුප් රහිත නිවාඩු ලබා සිට හා සේවය හැර ගොස් සිටි පරිවාස කාලයේ පසුවූ බැඳුම්කර කඩ කරන ලද කථිකාචාර්යවරුන් සිවු දෙනකු සඳහා ලක්ෂ විසිඑකකට වැඩි වැටුප් හා දීමනා ගෙවා තිබූ බව වාර්තාවේ දැක්වේ. මේ අතර ඉංජිනේරු පීඨයේ පිහිට මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ පාදම ඉදිකිරිම වෙනුවෙන් 2018 වර්ෂයේදී එක්කෝටි පනස් නව ලක්ෂයකට වැඩි මුදලක් එම ඉදිකිරීම් අතහැර දැමීම හේතුවෙන්

ඊට වැය කෙරුණු මුදල් නාස්තිවී ගොස් ඇතැයි එහි සඳහන් වේ.

මෙම පාදම ඉදිකර තිබුණේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශයකින් තොරව සහ අර පිරිමැස්ම, කාර්යක්ෂමතාව, විධිමත් බව හා අවංකභාවය යන කරුණු පිළිබඳව නිසි සැලකිල්ලක් දැක්වීමෙන් තොරව බව වාර්තාවේ දැක්වේ.මෙම තොරතුරු සඳහන් වන්නේ පේරාදෙණිය  විශ්ව විද්‍යාලයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

සුජිත් හේවාජුලිගේ