peradeniya-prof-bl-peris-died

 ඖෂධ අධි මාත්‍රාවක් ගැනීමෙන් පසුමියගිය බව කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයාගේ මරණය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන බවත් ඔහුගේ ශරීරයේ කොටස් රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර ඇති බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය නිලධාරි එන්.පී. කුලතුංග මහත්මිය

හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතාට කරුණු වාර්තා කර ඇත.



ඒ අනුව අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් මරණ පරීක්ෂණය මරණ පරීක්ෂකවරයා විසින් පසුවට කල් තබනු ලැබීය. එම සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් තිදෙනකුගෙන් සහ මියගිය කථිකාචාර්වරයාගේ බිරියගෙන් ප්‍රකාශ ගැනීමෙන් පසු අවසන් කටයුතු කිරීම සඳහා මළ සිරුර බිරියට බාර දීමට පියවර ගෙන ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ භෝග විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජයනාත් පීරිස් මහතා මිය යෑමට පෙර තමන් ඖෂධ අධිමාත්‍රාවක් සහ කෘමිනාශක වර්ගයක් ද පානය කළේ යැයි ඔහුට ප්‍රතිකාර කළ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ට පවසා ඇති බව විමර්ශනවල දී තොරතුරු අනාවරණයවී ඇත.

කථිකාචාර්යවරයා ඔහුගේ බිරිය සමඟ නවාතැන් ගෙන සිටි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නිල නිවෙසේ අසාධ්‍ය තත්වයෙන් පසුවෙමින් සිටිය දී බිරිඳගේ දැනුම්දීම මත එහි පැමිණි මහාචාර්යවරුන් තිදෙනකු සහ විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයේ පිරිසක් විසින් ආරක්ෂක අංශයට අයත් වාහනයකින් කථිකාචාර්යවරයා රෝහලට ගෙන යනු ලැබීය.
ෂේන් සෙනෙවිරත්න