piliyandala-ayesha-lakmini-murder

සිය පෙම්වතිය සමග ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව පෙම්වතා පිහියකින් ඇන පෙම්වතිය ඝාතනය කරන ලද සිදුවීමක් පිළියන්දලින් වාර්තා වෙයි. ඝාතනයට යොදාගත් පිහියත් සමග 24 හැවිරිදි සැකකාර පෙම්වතා ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු සුරතල් මසුන් අලෙවි කරන්නකු බව පොලිසිය සඳහන් කරයි.
ඝාතනයට ලක්ව ඇත්තේ පිළියන්දල බටකැත්තර එල්. එස්. වත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි ඇඟලුම් සේවිකාවක ලෙස රැකියාව කරන ජේ.එම්. අයේෂා ලක්මිණි නමැති 26 හැවිරිදි තරුණියකි.
ඝාතනයට ලක් වූ තරුණිය සිය මව පියා හා සහෝදරයා සමග එල්.එස්. වන්නේ නිවසක කුලී පදනම මත ජීවත්ව සිටින බවද පොලිසිය කියයි.


සැකකාර පෙම්වතා සමඟ ඝාතනයට ලක් වූ තරුණිය මීට වසර තුනකට පමණ ඉහතදී ප්‍රේම සබඳතාවක් ගොඩනගාගෙන තිබී ඇති අතර මාස තුනක පමණ කාලයක සිට ඇය පෙම්වතා මග හැරීමට කටයුතු කර ඇති බව සැකකරුගේ පාපෝච්චාරණයකින් අනාවරණය වී යැයි පොලිසිය කියයි.

ඔහු තරුණියගේ නිවෙසට පැමිණි අවස්ථාවලදී තරුණියගේ මවද ඉක්මනින් තරුණයා පිටත්කර හරින ලෙස තරුණියට පවසනු තරුණයාට ඇසී ඇති බවද ඔහු පොලිසියට කළ ප්‍රකාශ වල සඳහන් වන බව පොලිසිය කියයි. සැකකාර පෙම්වතා සිය යතුරු පැදියෙන් පෙම්වතිය හමුවීම සඳහා ඊයේ (7) නිවසට පැමිණ මද වේලාවක් කතාබස් කරමින් සිට පිටවී ගොස් නැවත මඳ වේලාවකදී පැමිණ ඇති අතර අනතුරුව ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව සඟවාගෙන සිටි උල් පිහියෙන් ඇයගේ පපු පෙදෙසට, හිසට, යටි බඩ පෙදෙසට, අතට ආදි හය පොළකට ඇත තිබූ බව විමර්ශන වලදී අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි.
පෙම්වතාගේ පිහි ප්‍රහාරය අතරතුර නිවෙසින් එළියට පලා ආ තරුණිය අම්මේ, තාත්තේ, මට පිහියෙන් ඇන්නා යැයි කෑ ගසා හඬා වැටෙමින් නිවස ඉදිරිපිට ලේ විලක් මැද ඇද වැටීමත් සමගම එම ශබ්දය ඇසී එම ස්ථානයට දිවා ආ නිවෙස් හිමි කාන්තාව වහා දිව ගොස් යාබද නිවසක ත්‍රිරෝද රථයක් ගෙන්වාගෙන තරුණිය රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.


ඒ අතරතුර සැකකාර පෙම්වතා ඝාතනයට යොදාගත් පිහිය ඉනේ ගසාගෙන යතුරු පැදියේ නැගී පලා යාමට තැත් කිරීමේදී අසල්වාසී තරුණයන් ඔහු අල්ලාගෙන ඒ බව පිළියන්දල පොලිසිය වෙත දැනුම් දී ඔහු භාරදී ඇත. සැකකරු ඝාතනය සඳහා යොදාගත් උල් පිහිය මිලදීගෙන ඇත්තේ බටකැත්තර ප්‍රදේශයේ වෙළෙඳ සලකින් බවට පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
රෝහල් ගත කළ තරුණිය රෝහල් ගත කරන විටත් මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සිද්ධි වූ ස්ථානයට ගල්කිස්ස අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරිහු පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.
කැස්බෑව අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් නුවන් වින්දු විතානගේ මහතා අපරාධය සිදුවූ ස්ථානය වෙත පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත් වූ අතර තරුණියගේ මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකු ලවා පවත්වන සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් පොලිසියට නියෝග කළේය.