policeman-abuser-prisoned

වයස අවුරුදු නවයක පමණ පාසල් සිසුවකු අවස්ථා දෙකකදී බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිචෝදනා ලබා සිටි හිටපු පොලිස් කොස්තාපල්වරයකු එම අධිචෝදනා දෙකටම වරදකරු බවට තීන්දු කළ මහනුවර මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. දර්ශිකා විමලසිරි මෙනෙවිය ඔහුට වසර හතළිහක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ඊයේ (23) නියම කළාය.



එක් අධි චෝදනාවකට වසර විස්ස බැගින් චෝදනා දෙකට හතළිස් වසරක සිර දඬුවමක් මෙසේ නියම කෙරිණි. හතළිස් වසරක සිර දඬුවම වසර විස්සකදී එකවර ගෙවී යා යුතු බවට ද නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය පැමිණිලිකාර වින්දිත දරුවාට රුපියල් ලක්ෂ පහක මුදලක් වන්දි වශයෙන් ගෙවන ලෙසටද විත්තිකාර හිටපු පොලිස් කොස්තාපල්ට නියම කළාය. එම වන්දි මුදල ගෙවීම පැහැර හැරියහොත් විත්තිකරුට තවත් දෙවසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම කළ අතර රුපියල් විසිපන් දහසක දඩ මුදලක්ද නියම කළාය.මෙම දඬුවම නියම වූයේ මහනුවර උඩුදුම්බර ගංගොඩ පදිංචි රාජපක්ෂ විජය මුනිලාගේ නිශාන්ත වීරසූරිය නමැති අවිවාහක හිටපු පොලිස් කොස්තාපල් කෙනෙකුටය.නඩුවේ තීන්දුව දෙමින් මහාධිකරණ විනිසුරු දර්ශිකා විමල සිරි මෙන විය පැවසුවේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බවයි.



2017 වසරේ ජනවාරි මස 01 දින හෝ ඊට ආසන්න දිනයක මහනුවර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් උඩුදුම්බරදී මෙම වරද සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 ආ (2) ආ වගන්තිය යටතේ මෙම විත්තිකරුට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් අධි චෝදනා දෙකක් ගොනු කරනු ලැබ තිබිණි.මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති අතර නීතිපතිවරයා විසින් 2019 වර්ෂයේදී විත්තිකරුට අධි චෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වැඩිදුර විභාගය මහනුවර මහාධිකරණයට යොමු කෙරිණි.පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ තාරකා කෝදාගොඩ මෙනෙවිය පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ ජගත් ඩයස් මහතා පෙනී සිටියේය.

මහනුවර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එම්.එම්. සිවසුබ්‍රමනියම් මහතා ඇතුළු හත් දෙනෙක් මෙම නඩුවේ සාක්ෂිකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටියහ.තෙල්දෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවීය. විත්තිකාර පොලිස් කොස්තාපල් නව හැවිරිදි පාසල් සිසුවා බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කර ඇත්තේ එම සිසුවා පාසලේ හතරවැනි ශ්‍රේණියේ සිටියදී බව අධිකරණ නඩු විභාගයේදී අනාවරණය විය.
උපාලි ආනන්ද