polpithigama-incident

ගජ මිතුරන් දෙදෙනකු එක්ව වන සතුන් දඩයම් කිරීම සදහා කුඹුරක් වටා අදින ලද අනවසර විදුලි රැහැනක දැවටී අවුරුදු 49 ක් වයසැති විවාහක මිතුරකු පෙරේදා 21 වැනිදා පෙරේදා සවස් යාමයේදී මියගොස් ඇතැයි පොල්පිතිගම පොලිසිය කියයි.

මෙලෙස අනවසර විදුලි රැහැනේ දැවටී මියගොස් ඇත්තේ මාඑළිය, වදුරැස්ස ප්‍රදේශයේ එම්.එම්. ලොකුබණ්ඩා නමැත්තකු බවට හඳුනා ගත් බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය පිළිබඳව ප්‍රදේශවාසියකු කළ දැනුවත් කිරීම ලද සැණින් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ඒ.පී.ඒ. කුලතුංග මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තිබේ.

ඒ යන විටත් සවස 6.00ට පමණ කුඹුරට අනවසර විදුලි රැහැන තම නිවසේ සිට මීටර් සියයක පමණ දුරට අදින ලද අනෙක් මිතුරා එලෙස ඇද තිබූ අනවසර විදුලි රැහැන කඩිනමින් ඉවත් කිරීමටත්, මිය ගොස් සිටි තම මිතුරාගේ මෘත දේහය පවා එම ස්ථානයෙන් ඉවත් කිරීමටත් ලහි ලහියේ කටයුතු කරමින් සිටි බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෙම තැනැත්තා සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවැසීය. එසේ වුවත් මෙම තැනැත්තා සැබෑ ලෙසටම අනවසර විදුලි රැහැනක දැවටී මිය ගියාද? නැතිනම් ඝාතනය කර ඒ මතට අනවසර විදුලි රැහැනක් ඇද දැමුවාද? යන්න සම්බන්ධව පුළුල් පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය වැඩිදුරටත් පැවැසීය.
මොරගොල්ලාගම - සිසිර කැලේගම