power-cut-18-cents

විදුලි බිලෙහි තිබූ ශත 18ක මුදලක් නොගෙවීම නිසා තම නිවසේ විදුලිය විසන්ධි කළ බව ගාල්ල, ගල්වඩුගොඩ පදිංචි විසුම් මාපලගම මහතා පැවැසීය.

මෙලෙස නිවසේ විදුලිය විසන්ධි කරනු ලැබ ඇත්තේ ගාල්ල නගරය සහ ඒ අවට ප්‍රදේශයට විදුලි සපයන සීමාසහිත ලංකා විදුලි පුද්ගලික සමාගම (ලෙකෝ) විසිනි.



විසුම් මාපලගම මහතා පවසන්නේ, තමන් රුපියල් 6650.18ක් වූ විදුලි බිල්පත ගෙවීමට ලෙකෝ කාර්යාලයට ගිය අවස්ථාවේදී ශත 18ක මුදලක් ගෙවිය යුතු දැයි විමසූ විට මුදල් අයකැමි සඳහන් කළේ එවැනි සුළු මුදලකට විදුලිය විසන්ධි නොකරන බැවින් එය නොගෙවීම ගැටලුවක් නොවන්නේ යැයි පැවැසූ බවය.

රවුම් ගණනක් ගෙවන්න යැයි ද මුදල් අයකැමි පැවසීම නිසා තමා රුපියල් 6650 මුදලක් ගෙවූ බවද ඉතිරි වූ ශත18 ක මුදල හිඟ තිබූ බවද ඔහු කීය.

නමුත් දින කිහිපයකට පසු නිවසේ කිසිවකුත් නොමැති අවස්ථාවකදී විදුලි පුද්ගලික සමාගමේ සේවකයන් පැමිණ නිවසේ විදුලිය විසන්ධි කර තිබූ බවද මාපලගම මහතා කීවේය.



තමා පැය ගණනකට පසුව නිවසට යද්දී විදුලිය විසන්ධි කිරීමේ නිවේදනය නිවස ඉදිරිපිට තබා ගොස් තිබූ බවත් විදුලිය නැවත ලබාගැනීම සඳහා අමතර ගාස්තුව රුපියල් 1,231 ක් සහ විදුලිය විසන්ධි කිරීමට හේතු වූ හිඟ මුදල ශත18ක් ගෙවිය යුතු බව එහි සඳහන් කර තිබූ බවද ඔහු කීවේය.

මේ ගැන විමසීම සඳහා තමන් බිල්පත් ගෙවූ බවට ඇති සියලු ලේඛන සහිතව ගාල්ල රිච්මන්ඩ් කන්දේ පිහිටි ලෙකෝ සමාගමේ කාර්යාලයට ගිය විට තමාට පැහැදිලි පිළිතුරක් නොලැබුණු බවද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් ලෙකෝ ආයතනයෙන් අප විමසූ විට තමන් අතින් වරදක් සිදුව ඇතැයි දුරකතනයට පිළිතුරු දුන් නිලධාරිනියක පිළිගත්තාය.

එබැවින් කිසිම අමතර මුදල් අයකිරීමකින් තොරව එදිනම නැවත විදුලි සම්බන්ධතාව දුන් බවද නිලධාරිනිය පැවසුවාය.

 සිරංගිකා ලොකුකරවිට