රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා හා ඔහුගේ ආරක්ෂකයා මරණයට පත් කරමින් කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරට පැය කිහිපයකට පෙර වට්ස්ඇප් ඔස්සේ රථය පැදවූ රියදුරු හුවමාරුකරගත් සටහනක් ගැන පරීක්ෂණයක් සිදුකරන බව පොලිසිය පවසයි.
“හෙට වෙනකොට මගේ නමට යටින් ලස්සන ෆොටෝ එකක් වැටිලා නමට උඩින් අමාමහ නිවන් සුව කියලා තිබ්බොත්..
උඹලාට හිතෙන දේ කියන් යමන්. මැරෙන්න කලින් මම ඒ ටික කියවන්න හරි ආසයි.”
යනුවෙන් පසුබිමින් සුදු කොඩියක්ද සහිතව පළ කර තිබූ මෙම පණිවිඩය පෙර දිනයේ සවස 2.03 ට හුවමාරුකරගෙන තිබුණි. මෙම සටහන නිසා අනතුර සම්බන්ධ පරීක්ෂණ පවත්වන නිලධාරීන්ට අලුත් සැකයක් පැනනැගී ඇති නිසාදෝ දැනට රෝහල්ගතව අත්අඩංගුවේ පසුවන රියදුරාගේ ජංගම දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.
විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙසේ එම දුරකථනය තුළ පණිවිඩ ගැන පුළුල් විමර්ශනයක් කරන්නට නියමිතය.
එහි සටහන් වන ලෙස ඊළඟ දිනයේ ඔහු මැරෙන්න සූදානමින් වාහනය පැදවූවානම් ඒ තුළ ‘කුමන්ත්‍රණයක්‘ පැවතිය හැකි බවට ඉඟියක් ලැබේ.
රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රියදුරු ප්‍රභාත් එරංග පස් වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන්නට අධිකරණය නියම කළ අතර ඔහුගෙන් අනතුර ගැන ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ තමන් පැයට කිලෝමීටර 160 ක වේගයෙන් රථය පැදවූ බවත් වෙනත් රථයක් තමා පසුකර ගියෙන් කන්ටේනරය ළඟට වාහනය යනතුරු නොදුටු බවත් ඔහු පවසා ඇති අතර තමාට පාලනය කරන්නට බැරි තරම් සමීපයට රථ දෙක පැමිණි පසු අනතුර සිදුවූ බවද පවසා තිබුණි. අනතුර අවස්ථාවේ රාජ්‍ය ඇමතිවරයා ඉදිරිපස අසුනේ නිදාගෙන සිටි බවද ඔහු කියා තිබුණි.
මංගල උත්සව දෙකකට සහභාගීවී පැමිණෙමින් සිටියදී අනතුර සිදුවන අතර ඔහු බීමත්ව රිය පදවා නැති බව පවසා ඇති නමුත් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කිරීමේදී නිරන්තරයෙන්ම මත්පැන් බෝතල්වල ඡායාරූප හුවමාරු කරන්නට කැමැත්තෙන් පසුවන අයෙකු බව පෙන්නුම් කෙරේ.
සනත් නිශාන්තගේ රියදුරු ප්‍රභාත් එරංග දිගු කාලයක් සනත් සමග සේවය කර ඇති අයෙකි. පසුගිය වසරේ ඔහු සිදු කළ අනතුරකින් පුද්ගලයෙකු මියගිය අතර පසුගිය මාස හයක කාලය තුළ තුන් වතාවක් නොසැලකිලිමත් රථ ධාවනයේ යෙදී අනතුරු කර ඇති බවද හෙළි විය. කෙසේ නමුත් ඔහු එසේ වැරදි කර පොලිසියට ගියත් ඉතා ඉක්මනින් නිදහස්ව ඇත්තේ ඇමති බලතල උපකාර නිසාය.
0 Comments