ragama-incident

බාල වයස්කාර දරුවකුගේ ඇඟිල්ලක් වෙන්වන අන්දමට කඩුවෙන් කොටා දින 11 තිස්සේ සැඟවී සිටි රාගම ප්‍රදේශයේ පුද්ගලයකු ලබන 19 වැනිදා දක්වා රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ඊයේ (15) නියම කළේය.ඇඟිල්ල වෙන්වන අන්දමට දරුවාට කෙටූ කඩුව සොයා ගැනීම සඳහා විමර්ශන කරන බව දැනුම් දෙමින් රාගම පොලිසියේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරු මෙලෙස රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.



මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ රාගම පොඩිවී කුඹුර ප්‍රදේශයේ පදිංචි ඇතීගේ දිලරුක් x ප්‍රශාන්ත සිල්වා නමැති තිදරු පියෙකි.සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ රාගම පොලිසියේ නිලධාරීන් පසුගිය ජනවාරි මස 04 වැනිදා දෙපාර්ශ්වය අතර ඇති වූ ආරවුලක් හේතූවෙන් සැකකරු ඔහුගේ අසල්වැසි නිවසක පදිංචිව සිටි 14 හැවිරිදි බාලවයස්කාර දරුවකුට කඩුවෙන් කොටා ඇතැයි ද ඉන් ඔහුගේ වම් අතේ ඇඟිල්ලක් සම්පූර්ණයෙන්ම වෙන් වී ඇතැයි ද පසුව දරුවා ජාතික රෝහලට ඇතුළත් කර ශල්‍යකර්මයකට ලක් කිරීමෙන් පසු නේවාසිකව ප්‍රතිකාර ලබා දී ඇතැයි ද දැනුම් දුන්නේය.

දරුවා රෝහලෙන් මුදාහළ පසුගිය 13 වැනිදා තෙක් පොලිසියට ඉදිරිපත් නොවු සැකකරු දරුවා රෝහලෙන් මුදාහළ පසු පොලිසියට පැමිණි අවස්ථාවේ දී

අත්අඩංගුවට ගත් බව දැනුම් දුන් නිලධාරීහු දරුවාට කෙටු කඩුව සොයා ගැනීම සඳහා විමර්ශන කරන බව ද දැනුම් දුන්හ.වින්දිත බාල වයස්කාර දරුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශ්‍රමින්ද්‍ර සොයිසා මහතා මීට පෙර දිනයක මෝෂමක් මාරේයන් කරුණු දක්වමින් පොලිසියේම ඉහළ නිලධාරියකුගෙන් විමර්ශන නිලධාරීන්ට එල්ල වී ඇති බලපෑම් හේතුවෙන් මීට පෙර අවස්ථාවක අත්අඩංගුවට ගත් මෙම සැකකරු මුදා හැරීමට පොලිසිය කටයුතු කළේ යැයි පැවසීය.

මේ වන විට ඇඟිල්ලක්ද අහිමි වී සිටින මෙම දරුවා කුඩු නඩුවකට පටලවා සිරගත කිරීමේ සූදානමක් පිළිබඳව තමන්ට තොරතුරු ලැබි ඇතැයි දැනුම් දුන් නීතිඥ ශ්‍රමින්ද්‍ර සොයිසා මහතා වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්නැයි ඉල්ලීමක් ද කළේය. සියලු කරුණු සලකා බැලලීමෙන් අනතුරුව සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල කැඳවන ලබන 19 වැනිදා සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස පොලිසියට නියම කළේය.
 මනෝප්‍රිය ගුණසේකර