rata-lunu-price

රට ලූණුවල මිල නොසිතූ ලෙස ඉහළ යෑම හේතුවෙන් නත්තල් සහ අලුත් අවුරුදු කාලවලදී පාරිභෝගිකයන් රට ලූණු මිලදී ගැනීම විශාල ලෙස අඩු කිරීම නිසා මේ වනවිට ලූණු අලෙවිය විශාල ලෙස පහළ ගොස් ඇති බව වෙළෙන්දෝ පවසති.කිලෝව රුපියල් 100 ත් 150 ත් අතර මිලකට අලෙවිවූ ලූණු කිලෝවක මිල තොග වෙළෙඳුන් විසින් ඉතාමත් අසාධාරණ ලෙස ඉහළ දැමීම නිසා,

පාදුක්ක, හංවැල්ල, මීගොඩ යන ප්‍රදේශවල සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල රට ලූණු කිලෝවක් රුපියල් 600 ත් 700 ත් අතර මුදලකට අලෙවිය.

සතියකට රටලූනු කිලෝවකට වැඩි ප්‍රමාණයක් මිලදී ගත් පාරිභෝගිකයන්, මේ වනවිට රටලුණු ග්‍රෑම් 250 කටත් අඩු ප්‍රමාණවලින් මිලදී ගන්නා බව ඔවුහු පවසති.ඉන්දියාව රටලූණු ආනයනය කිරීමේදී වැඩි බදු මුදලක් අය කරන බවට ප්‍රකාශයට පත්කිරීමත් සමඟම, කොළඹ තොග වෙළෙඳුන් එකවරම රුපියල් 200 කට වැඩි මුදලකින් වැඩිකර, ඉන්පසු උත්සව සමයේ තවත් මුදල් ක්‍රමානුකූලව වැඩිකිරීම නිසා, පාරිභෝගික ජනතාවට රටලූණු කිලෝවක් රුපියල් 600 ත් 700ත් අතර මුදලකට අලෙවි කිරීමට සිදුවීම නිසා පාරිභෝගිකයින්ද රට ලූණු පාරිභෝජනය එකවරම අඩු කිරීම සිදුකළ බව බොහෝ වෙළෙන්දෝ පවසති.

උත්සව සමයේ රටලූණු ග්‍රෑම් 250 ක් වැනි සුළු ප්‍රමාණයක් මිලදී ගෙන, අරපිරිමැස්මෙන් පාවිච්චි කර,

ආහාර සකස් කර ගත් බව පවසන පාරිභෝගිකයන්, එවැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩුවෙන් පාවිච්චි කිරීමට කොළඹ තොග වෙළදුන් පාරිභෝගිකයන්ට ඉගැන්නු පාඩම දිගටම පාරිභෝගිකයන්ද අනුගමනය කළහොත්, ඉදිරියේදී රට ලූණු මිල විශාල වශයෙන් අඩුකර ගත හැකි බව පාරිභෝගිකයෝද පවසති.

නිහාල් වෙත්තසිංහ