rathmalana-kiriya-arrested

දුම්රිය දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරිවරයකුගේ නිවසක් ඇතුළු නිවාස පහකින් රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමින් යුත් භාණ්ඩ තොගයක් සොරාගත් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයෙකු පෙරේදා (01) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.



මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ “ රත්මලානේ කිරියා" නමැති 24 හැවිරිදි පුද්ගලයකු බව ද පොලිසිය කියයි.

මෙම පුද්ගලයා රත්මලාන දුම්රිය නිවාස සංකීර්ණය, වෙඩිකන්ද හා සුනාමි නිවාස කිහිපයක තිබූ භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධීන් පහක් සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසියට පැමිණිලි ලැබී තිබිණි.

ඒ අනුව සැකකරුවන් සොයා විමර්ශනයක් ආරම්භ කර තිබියදී බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මගින් ද තවත් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

ඒ අනුව රත්මලානේ සුනාමි නිවාසයක තිබූ ත්‍රීරෝද රථයකින් සොරාගත් බැටරියක් අලෙවි කිරීම සඳහා පුද්ගලයකු ගැනුම්කරුවකු සොයන බවට පොලිස් සැරයන් (60161) වසන්ත නිලධාරියාට තොරතුරක් ලැබී තිබිණි.

බැටරිය මිලදී ගැනීමට උපාය දූතයෙකු යොදවා සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී රත්මලාන ප්‍රදේශයේ මුහුදු බඩ නිවාසවල පදිංචිකරුවන් නොමැති අවස්ථාවලදී ඇතුළු වී එහි තිබූ භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධීන් රැසක තොරතුරු අනාවරණය වී තිබුණි.

ඒ අනුව රත්මලාන ප්‍රදේශයේ පදිංචි දුම්රිය දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරිවරයකුගේ නිවසකින් සොරාගෙන වෙනත් ස්ථාන වලට අලෙවි කර තිබූ ගෑස් සිලින්ඩරයක්, රයිස් කුකර් එකක්, හෙල්මට් දෙකක්,

ජනෙල්වලට සවිකර තිබූ යකඩ ග්‍රිල් 04ක් පිත්තල සරනේරු තොගයක් හා පාසැල් බෑග් 02ක් වෙඩිකන්ද ප්‍රදේශයේ ඉදි කරමින් පවතින නිවසක කොන්ක්‍රීට් කණුවලින් කැපූ යකඩ කම්බි 88ක් පොලිස් බාරයට ගෙන තිබේ.

මීට අමතරව රත්මලාන ප්‍රදේශයේ තවත් ස්ථාන කිහිපයකින් සොරාගත් කොත්තු මේසයක්, යකඩ දොරක්, ගේට්ටුවක් හා ත්‍රීරෝද රථ බැටරියක් මෙසේ සොයා ගෙන තිබූ අතර එම භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ දහයකට අධික වන අතර මෙම භාණ්ඩ ඉතා අඩු මිලට විකුණා එම මුදලින් හෙරොයින් පානය කර ඇතැයි පැවසේ.

තවදුරටත් ප්‍රශ්න කිරීමේදී සිය මිතුරෙකුට එල්ල කළ කම්මුල් ප්‍රහාරයකට උරණ වී පස් දෙනෙකු සමඟ එකතු වී ඝාතනයක් කිරීමේ චෝදනාවට බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව සිටින පුද්ගලයකු බවත් මොහුට එරෙහිව මත් පෙති හා හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු තුනක් ඇති බවත් පොලිසිය පවසයි.



ගෙවල් බිඳුම් සම්බන්ධයෙන් දැනට බන්ධනාගාර ගතව සිටින "රත්මලානේ බබා " නමැත්තාගේ මෙහෙය වීමෙන් සිදු කළ ගෙවල් බිඳුම් ජාවාරමේ ප්‍රධාන ගෝලයකු ලෙස ද මොහු කටයුතු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගල්කිස්ස පොලිසියට බාරදීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අබේසේකර මහතාගේ අධීක්ෂණය යටතේ ස්ථානාධිපති සුමිත් ජයසිංහ මහතාගේ උපදෙස් මත, උප පොලිස් පරීක්ෂක නිහාල් මහතාගේ මෙහෙය වීමෙන් පො.සැ. (13696) සමන් (60161) වසන්ත (61269) ලංකා (73067) අනුරාධ පො.කො.රි (100964) මධුශංක ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති.

   මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න