roshan-harin-sports
ක්‍රීඩා ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ජාතික ක්‍රීඩා සංගම් සම්බන්ධයෙන් පනවනු ලැබූ රෙගුලාසි දෙකක් සංශෝධනය කිරීමට වත්මන් ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් මගින් නියෝග කර තිබේ. එම ගැසට් නියෝගවලට රොෂාන් රණසිංහ හිටපු ක්‍රීඩා ඇමැතිවරයා පැනවූ සංශෝධිත 5 (2XV) නියෝගය ඉවත්කර ඇත.එහි සඳහන් වන්නේ ඕනෑම නිලධාරියකුගේ හෝ කමිටු සාමාජිකයකුගේ ධුර දැරිය හැකි උපරිම වයස් සීමාව අවුරුදු 70 කට සීමා කරනු ලබන්නේය යනුවෙනි. ඒ අනුව ජාතික ක්‍රීඩා සංගම් තනතුරු දරන්නන්ට අලුතෙන් පනවා තිබූ වයස 70 නොඉක්මවිය යුතුයි යන රෙගුලාසිය ඉවත් කිරීමට ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා නියෝග කර ඇත.




මේ අතර 2023 මැයි 08 වැනි දින අංක 2331/10 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ 8 (1Xආ) නියෝගය සංශෝධනය කරමින් ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් නියෝග දෙන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයට ඉදිරිපත් කරන අභියාචනා සඳහා අය කරනු ලබන මුදල රුපියල් 15000කට සීමා කරන බවයි.මෙම මුදල රුපියල් 50000ක් දක්වා ඉහළ දැමීමට 2023 මැයි 08 වැනිදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කළේ ද හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා විසිනි.අභියාචනා මුදල ආපසු නොගෙවන ජාතික ක්‍රීඩා අරමුදලට බැර කළ යුතු මුදලක් බවටද වත්මන් ක්‍රීඩා ඇමැතිවරයාගේ නියෝගයේ දැක්වේ.

අභියාචනා මුදල රුපියල් 50000ට ඉහළ දැමීමට ගත් තීරණය ගැන එවකට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පැවැසුවේ ක්‍රීඩා අමාත්‍යංශයට සීමාවකින් තොරව ඉදිරිපත්වන අභියාචනා පැමිණිලි පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බවයි.මේ අතරම ඇමැති හරින් ප්‍රනාන්දු මහතා පසුගිය ජනවාරි 13 වැනිදා නිකුත් කළ තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයකින් දක්වා ඇත්තේ 2022.12.14 දිනැති හා අංක 2310/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද සංශෝධිත නියෝගවල 12 වැනි නියෝගය ඉවත් කරන ලද බවයි.



එය බල පැවැත්වුණේ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවටය. ඒ එහි තනතුරු දරන්නන්ට පනවා තිබූ වයස 70ට නොඅඩු විය යුතු බවට වන නියෝගයයි. හරින් ප්‍රනාන්දු ඇමැතිවරයාගේ ජනවාරි 13 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයෙන් මෙම රෙගුලාසිය ද ඉවත් කර තිබේ. 1976 සිට 2023 දක්වා මේ සම්බන්ධයෙන් නිකුත් කර තිබූ ගැසට් නිවේදන හතරක් ඒ අනුව නැවත ප්‍රතිසංශෝධනයවීම මෙහි ඇති විශේෂත්වයයි. රොෂාන් රණසිංහ ඇමැතිවරයාගේ වයස70 නොඅඩුවිය යුතු යයි දැන්වූ නව නීතිය යටතේ පසුගිය කාලයේ පැවැති ජාතික ක්‍රීඩා සංගම් නිලවරණවලින් ප්‍රවීණතම හා ජ්‍යෙෂ්ඨතම නිලධාරින් රැසකට නැවත තරග කිරීමේ අවස්ථාව අහිමිවිය.
නාමල් පතිරගේ