roshan-harin

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම චිත්‍රපටයක ඩ්‍රාමා එකක අවසානයක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම දාගත් අයම එය අයි. සී.සී.ය ලවා ඉවත් කර ගත් බවත් හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පැවසීය.‘දූෂණයට තිත' සංවාද මාලාවේ ඊයේ (29) අතුරුගිරියේදී පැවැති තවත් සංවාදයකට සහභාගි වෙමින් හිටපු ඇමැතිවරයා එසේ පැවසීය.

එහිදී මාධ්‍ය වේදීන්ගේ  ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා මෙසේද පැවසීය. කළු ඇඳගෙන අරගලයට ගිය පාර්ලිමේන්තුවේ කළු ඇඳගෙන හොරකමට දූෂණයට විරුද්ධව කතා කළ වත්මන් ක්‍රීඩා ඇමතිවරයාට එම අරගලයේ නාමයෙන් ඉල්ලා හිටිනවා අවුරුදු විසි ගණන් තනතුරු දරමින් දූෂණ හොරකම් කළ සැප විඳපු වත්මන් ක්‍රිකට් පරිපාලනය වහාම ඉවත් කරන්න කියලා.



අයි.සී.සී.ය කියන්නේ මොකක්ද? ඒකේ ප්‍රධාන අයිතිකරුවෙක් අපි ඒ වගේ 12 දෙනෙක් ඉන්නවා. ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම දාගත්ත ඒ එක අයිතිකරුවෙක්ම දැන් ඒ තහනම අයින් කර ගත්තා.මේ සියළු කාරණා සිදු වුණේ හොරකම හින්දයි. ඒ නිසා තමයි මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විගණන වාර්තා සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් නැවත කරන්න කියලා ඉල්ලුවේ. එහෙම වෝහාරික විගණනයක් කළා නම් සැප විඳිමින් තනතුරු අත් හරින්නේ නැතිව කල් ගෙවන මේ හොරුන් ක්‍රිකට් ආයතනයෙන් එළවා දමන්න පුළුවන් කමක් තිබුණා.

රටේ පාසල් දසදහසක් විතර තිබෙනවා. ඒත් තවම ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්නේ රටේ පාසල් වලින් එක්දහසක් විතර පමණයි. රට හදන්නත් රටේ පිච් එක හදන්න ඕනේ. පිච් එක හැදුවොත් ඕනෑම කෙනෙකුට ඒකෙ බැට් කරන්න පුළුවන්. රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වයක් එසේමයි. ජරාව කාලා පගාව දීලා රටේ ක්‍රිකට් පිච් එක හදන්න බෑ.මේ රටේ ක්‍රීඩා ලෝලීන්ට නැති වුණ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩ ගන්න නම් මේ ක්‍රිකට් පාලනය අවසන් කළ යුතුමයි. ඒ සඳහා වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා කටයුතු කළ යුතුයි.



කරාටේ දෝ සම්මේලනය, මෝටර් රථ සංගමය අත්හිටුවීමට මා කටයුතු කළේ උසාවිය විගණකාධිපතිවරයා ලබාදුන් වාර්තා පදනම් කර ගෙනයි. අපි ඉතා මහන්සියෙන් හදාගත් ක්‍රීඩා නීති වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා විසින් වෙනස් කිරීම වැරදි සහගතයි.ඒ නීති පද්ධති හදන්න අපි දැඩි කැපවීමක් කළා. ක්‍රිකට් ආයතනයේ ඡන්ද 147 38කට බස්වන්න අපි යෝජනා හැදුවා. වයස 70න් ඉහළ අය ජාතික ක්‍රීඩා සංගම් තනතුරු දැරිම නොකළ යුතුයි. අඩු තරමින් වයස 65 වෙන කොට වත් ඔවුන් ජාතික ක්‍රීඩා සංගම් තනතුරු අත්හරින්න උනන්දු විය යුතුයි.

මේක දේශපාලනඥයන්ටත් අදාළයි. හැත්තෑවෙන් පස්සෙවත් දේශපාලනය අත්හළ යුතුයි කියන මතයේ මම ඉන්නවා. 2018 ඉඳලා 2023 වෙනකන් මේ ක්‍රිකට් ආයතනයේ ඉන්න පාලකයන් ගැන වෝහාරික විගණනයක් කළොත් ඔවුන්ට ලැබෙන දඬුවම් පස් ගුණයකින් විතර වැඩි වෙයි කියලා මම විශ්වාස කරනවා.අද රටේ ක්‍රීඩාව විතරක් නෙමේ රටේම තියෙන්නේ පොදු අභිලාස නොවෙයි පුද්ගල අභිලාසයි. අපි ගෙනාව නීති අනුව ජාතික ක්‍රීඩා සංගම් නිලධාරීන් වත්කම් බැරකම් හෙළි කළ යුතුයි. ක්‍රීඩා සමාජයක් පවත්වාගෙන යනවා නම් තරග සඳහා සහභාගිවීම ඇතුළුව තවත් නීති ගණනාවක් අපි හැදුවා. මේවා දැන් අයින් කරන එක වැරදි ක්‍රියාවක්.

නාමල් පතිරගේ