ruwan-prasanna-gunaratne

බෞද්ධ දර්ශනය යැයි හුවා දක්වමින් දිව්‍යලෝකයට යාම පිණිස මිහිපිට ජීවිතය අත්හරින ලෙස විකෘති මතවාදයක් ප්‍රචාරය කරමින් හත් දෙනෙකුට දිවිනසා ගන්නට පෙළඹවූ රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තාගේ අනුගාමිකයින් දස දහසකට වැඩි පිරිසක් රටපුරා සිටින බවට පොලිසිය හා බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

මෙම පුද්ගලයාගේ ප්‍රධාන අනුගාමිකයා සහ 21 හැවිරිදි තරුණියක්ද පෙරේදා (02 වැනිදා) සයනයිඩ් යැයි සැක කළ හැකි වස වර්ගයක් පානය කර මහරගම හා යක්කල ප්‍රදේශවලදී සියදිවි නසාගෙන තිබෙන බවට පොලිසිය ඊයේ (03 වැනිදා) අනාවරණය කරගත්තේය.



මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ අම්බලංගොඩ වතුගෙදර පදිංචි ඉසුරු වලල්විට නමැති 34 හැවිරිදි පුද්ගලයෙකු සහ යක්කල රාපල්වත්තේ පදිංචි 21 හැවිරිදි තරුණියකි. මොවුන් දෙදෙනාම මාලඹේ කහන්තොට ප්‍රදේශයේදී සියදිවි නසාගත් රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තාගේ අවමංගල්‍ය කටයුතුවලට සහභාගී වූ ඔහුගේ අනුගාමිකයින් බවද හෙලිවී ඇත.

ඉසුරු වළල්විට නැමැත්තා පෙරේදා (02 වැනිදා) මහරගම දුම්රියපොළ මාර්ගයේ ලැගුම්හලකට පැමිණ පැය කිහිපයකට කාමරයක් වෙන්කරගෙන සවස පිටවන බවට පවසා ඇත.නමුත් එම පුද්ගලයා පිටව නොයෑම ගැන සැක සිතී ලැගුම්හලේ සේවකයින් කළ සෝදිසියකදී මොහු ඇඳ මත වස පානය කර මියගොස් ඇති බව දැක ඇත.

ඒ පිළිබඳ මහරගම පොලිසියට කරන ලද දැනුම් දීම මත කරන ලද වැඩිදුර විමර්ශනවලදී මෙම ස්ථානයේ තිබී සයනයිඩ් යැයි සැකකරන විෂ ද්‍රව්‍යක් අඩංගු මල්ලක් ද සොයාගෙන ඇත.

මේ අතර යක්කල රාපල්වත්ත ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක්ද වස පානය කර මියගොස් ඇති අතර ඇය භෞතික විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා රුහුණු සරසවියටද වරම් හිමිකරගත් තරුණියක බව අනාවරණය වී ඇත. මෙම තරුණිය ද රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තාගේ දේශනවලට සහභාගී වූ තරුණියක් බවත් ඇයද ඔහුගේ අවසන් කටයුතු සඳහා සහභාගීව ඇති බවත් පොලිසිය සදහන් කරයි.



රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තා වීඩියෝ මගින් හා සජීවීව සිය අනුගාමිකයන් හමුවී සෝවාන් වී මාර්ගඵල නෙලා ගනිමින් දිව්‍යලෝකයට යා හැකි බව කියමින් සියදිවි නසාගැනීමට පෙළඹවීමක් කර ඇති බවත් මොහුගේ දේශනවලට දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගීව තිබෙන බවත් අනාවරණය වීමත් සමග මෙම පුද්ගලයාගේ අනුගාමිකයින් සොයා ආරක්ෂක අමාත්‍යංශය, අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව, බුද්ධි අංශ සහ පොලිසිය වීඩියෝ දර්ශන ඔස්සේ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව බස්නාහිර පළාතේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය. අවසන් වරට මොහුගේ දේශනයක් සිදුව ඇත්තේ අම්බලංගොඩ ප්‍රදේශයේදී බවද විමර්ශන අංශ ඊයේ අනාවරණය කරගෙන ඇත.

හෝමාගම මාකුඹුර මහල් නිවාස සංකීර්ණයක නිවසක තාවකාලිකව පදිංචිව සිටි රුවන් ප්‍රසන්න ගුණරත්න නැමති 47 හැවිරිදි පුද්ගලයෙකු වස පානය කර සියදිවි නසාගෙන තිබුනේ පසුගිය 28 වැනිදාය. මොහු සෝවාන් වූ අයෙකු බව කියමින් බෞද්ධ ධර්ම දේශනා කරගෙන ගිය අයෙකු බවත් විවාහක තිදරු පියෙකු බවත් පොලිසිය සඳහන් කරයි.

මොහුගේ අවසන් කටයුතු පසුගිය 31 වැනිදා මාලඹේ කහන්තොට ප්‍රදේශයේ පිහිටි සිය සහෝදරයෙකුගේ නිවසේදී සිදුකර තිබෙන අතර මෙදින රාත්‍රියේ මොහුගේ බිරිඳ තම දරු තිදෙනාටද වස පොවා ඝාතනය කර තමාද වස පානය කර සියදිවි නසාගෙන තිබුණි.

මොවුන් පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර මීට මාස කිහිපයකට පෙර ඔවුන් පොළොන්නරුවේ දේපළ සියල්ල විකුණා දමා හෝමාගම මාකුඹුරේ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක පදිංචියට පැමිණ ඇත්තේ විදේශ ගතවීමේ අපේක්ෂාවෙනි. මෙම නිවස සදහා මසකට රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ගෙවා ඇතැයි ද විමර්ශන මගින් අනාවරණය වී ඇත.



මෙම පවුලේ සිව් දෙනාම බාහිර සමාජයෙන් ඈත්ව සැප සම්පත් අත්හැර අමුතුම ජීවිතයක් ගතකර ඇතැයි ද මොවුන් දරුවන් පවා පාසල් නොයවා සෝවාන් ඵලය ලබා ගැනීම වෙනුවෙන් භාවනා හා ධර්ම දේශනාවල නිරතව ඇතැයිද වාර්තා වේ.

මෙම පුද්ගලයා සිය අනුගාමිකයින්ට සියදිවි නසාගැනීමෙන් මාර්ග ඵල ලැබෙන බව කියා දෙමින් ඔවුන්ගේ මොළය විකෘති කර තිබෙන බවත් එම පුද්ගලයාගේ දේශනවලට සහභාගී වූ අනුගාමිකයින් සොයා පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන බවත් පොලිසිය සඳහන් කරයි.

මෙම පුද්ගලයාගේ දේශනවලට සහභාගී වූ පුද්ගලයින් නිවෙස්වල සිටීනම් හෝ ඔවුන් පිළිබඳ දැනුවත් වී ඇත්නම් පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවැසීය .

එෆ්.අස්ලම්