sabaragamu-gem-rathnapura

සබරගමු පළාත් සභාව යටතේ පාලනය වන රත්නපුර දිස්ත්‍රික්කයේ කාපට් අතුරා සංවර්ධනය කළ පළාත් මාර්ග රැසක් දෙපස මැණික් පතල් කැණීම නිසා හානියට පත්වන බව පළාත් මාර්ග, සංචාරක, හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් එස්. ගොඩැල්ලවත්ත මහතා අවධාරණය කරයි.රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගියදා පැවති රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුව අමතමින් කරුණු දැක්වූ සබරගමු පළාත් මාර්ග, සංචාරක, හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් එස්. ගොඩැල්ලවත්ත මහතා එහිදී සඳහන් කළේ බැකෝ යන්ත්‍ර යොදා ද

මැණික් කැණීම් සඳහා බලපත්‍ර නිකුත් කරන මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ඒ ගැන වහා සොයා බැලිය යුතු බවයි. රත්නපුර, පැල්මඩුල්ල, කලවාන, බලන්ගොඩ යන විධායක ඉංජිනේරු කාර්යාල බල ප්‍රදේශවල මාර්ග රැසක් මෙම අවදානමට ලක්ව ඇති බව ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් ලේකම්වරයා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අවධානයට යොමු කළේය. හානියට පත් ඇතැම් මාර්ග පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන පළාත් මාර්ග වෙයි. තවත් මාර්ග අමු තේ දලු ඇතුළුව ගම්වල නිෂ්පාදන නගරයට ගෙනෙන බර වාහන යන මාර්ග වේ.

කාපට් කළ මාර්ගයට අඩි හතරක් පහක් ආසන්න වන තෙක් මැණික් පතල් කැණීම් සිදු කිරීමෙන් මිලියන ගණනක් කළ වැයකිරීම් අපතේ ගොස් මාර්ග ගිලාබැසීමට ලක්වන බව පළාත් මාර්ග ලේකම්වරයා අවධාරණයට ලක් කළේය.

මේ නිසා පළාත් මාර්ගවල පාර දෙපස රක්‍ෂිතවල කරන මැණික් කැණීම් වහා නවත්වා මාර්ග රැකදීමට මැදිහත්වන්නැයි ලේකම්වරයා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් ඉල්ලා සිටියේය. සබරගමු පළාත් මාර්ග, සංචාරක, හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් එස්. ගොඩැල්ලවත්ත මහතා හානිවූ මාර්ග ලැයිස්තුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කළේය. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් පැවසුවේ වහා ඒ පිළිබඳ සොයා බලන බවයි.රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිළ එල්ලාවල මහතාගේ සම සභාපතිත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පැවැත්වෙයි. එහි ලේකම් වන්නේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතායි.

අජිත්ලාල්  ශාන්තඋදය