saman-perera-murder-updates

බෙලිඅත්ත ප්‍රදේශයේදී අද (22) පෙරවරුවේදී වෙඩි තැබීමකින් ඝාතනය වූ අපේ ජනබල පක්‍ෂයේ නායක සමන් පෙරේරා මහතාගේ කුරුණෑගල නිවස විශේෂ පොලිස් කණ්ඩායමක් පස්වරුවේ පරීක්‍ෂා කළේය.
එහිදී එම පොලිස් කණ්ඩායම පොලිස් සුනඛයන් ද යොදාගෙන නිවස සම්පූර්ණයෙන්ම පරීක්‍ෂා කර කළ බවත් නිවසේ ආයුධ සඟවා ඇතැයි ලැබුණු තොරතුරුට අනුව මෙම පරීක්‍ෂාව කරත් කිසිදු නීති විරෝධී භාණ්ඩයක් හෝ ද්‍රව්‍යයක් නොතිබුණු බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම නිවසේ බංකරයක් වැනි කාමරයක් තිබූ බව ද කී උසස් පොලිස් නිලධාරියා එහි තිබූ භාණ්ඩ ද පරීක්‍ෂා කළ බව ද සඳහන් කළේය.
මේ සමගම සැකයක් මතුවන්නේ මියගිය සමන් කවුරුන්ද යන්න ගැනයි. සමන් ප්‍රසන්න පෙරේරා ජනාධිපතිවරණයට ද තරග කළ අපේක්ෂකයෙකි.

පසුගිය මහ මැතිවරණයෙන් ඡන්ද 67758ක් ලබාගෙන ජාතික ලයිස්තු මන්ත්‍රී ආසනයක් ලබා ගත් අපේ ජනබල පක්ෂයේ සභාපති වන්නේ සමන් පෙරේරාය. මෙම අසුන වෙනුවෙන් කාලයක් සටන් කරේ අතුරලියේ රතනයි. ගලගොඩඅත්තේ ඥානසාර හිමිට පාර්ලිමේන්තු එන්න බැරිවූයේද මෙම හුටපටය අතරේය.
'සිංහලකම  - බෞද්ධකම " ගැන මෙම පක්ෂය කථා කරයි.හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව කතාවක් නිර්මාණය
කරමින් දේශපාලන වාසි නිර්මාණය කළ නාමල් කුමාර පසුපසින් සිටි පුද්ගලයා සමන් බවටද ආරංචි පවතී. කෙසේ වෙතත් මේ පක්ෂයේ සමන් පෙරේරාට අපරාධ ඉතිහාසයක් පොලිස් පොතේ ඇති බව මේ වනවිට වාර්තා වෙයි.
බලපිටිය හිටපු ප්‍රදේශීය සභා සභාපති ස්ටැන්ලි තාබෘ සහ ඔහුගේ පුත් ටෙරී තාබෘ වෙඩි තබා ඝාතනය සම්බන්ධව ඔහුට චෝදනා ඇත.ඉඳුරුවේ සමන් නැමැත්තා ඝාතනයද ඔහු කරවූ බවට චෝදනා පවතින අතර මේ නිසා පාතාලයේ ප්‍රබල කල්ලියක් වන කොස්ගොඩ සුජීගේ වෛරයට ඔහු පාත්‍රවූ බව කියැවේ.
2022 අගෝස්තු  24 දින තංගල්ල ප්‍රදේශයේ දී සමන් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගත කර තිබුනේ තවත් පුද්ගල ඝාතන චෝදනාවක් නිසාය. මෙයින් ඔහු ඇප මත නිදහස්ව සිටියේය.
තංගල්ල මොරකැටිආර ප්‍රදෙශයේ දී ඝාතනය කරන ලද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ඝාතන සාක්ෂි සැඟවීමට අපේ ජන බල පක්ෂ සාමාජිකයෙකු බව කියන ඝාතකයා ආරක්ෂා කළ අයෙකු ලෙසද සමන් ගැන පොලිස් පොතේ සටහන්ව ඇත.



සමන් පෙරේරා හෙවත් 'රෝයල් බීච් සමන්' දකුණේ පාතාලයට සම්බන්ධ පුද්ගලයකු බවට 2019 සැප්තැම්බර් මාසයේ රාජ්‍ය බුද්ධි සේවය සටහන් කරන ලද අයෙකි. ඔහුට හැමවිට පරිවාර කණ්ඩායමක් සිටී.
ඉඳුරුව රෝයල් බීච් නම් හෝටලයේ හිමිකරු වන්නේ සමන්ය.සංචාරක මඟ පෙන්වන්නකු ලෙස මුලින් කටයුතු කර පසුකලෙක ධනවත් වෛද්‍යවරියක සමඟ විවාහ වීමෙන් පසුව විශාල ධනස්කන්ධයක් උරුම කරගත්තකු යයි ගම්මු කියති.
අද සමන් පෙරේරා මියයන්නේ ඔහුට එරෙහිව පුද්ගල ඝාතනයක් සම්බන්ධව තංගල්ල අධිකරණයේ පවතින නඩුවක් සදහා සහභාගී වීමට  ඔහු සහ තවත් හතරදෙනෙකුගේ පිරිස සමග පැමිණෙමින් සිටියදී උදෑසන ආහාර සදහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී කඩයක් අසළදී නතර කර සිටියදීය.සුදු පැහැ ඩිෆෙන්ඩරයකින් සමන් පිරිස සමග පැමිණ තිබුණි.
 මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ පාතාල ගැටුමකින් වියහැකි බවට පොලිසිය අනුමාන කරන නමුත් තවම සැකකරුවන් හඳුනාගෙන නැත.
වෙඩි තැබීම සදහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර තිබේ.


දකුණේ පාතාල කණ්ඩායමක් වූ කොස්ගොඩ සුජී ගේ කල්ලියේ වෛරයට පාත්‍රව සිටින පුද්ගලයකු බවට සමන් ගැන තොරතුරු ලැබෙමින් පවතී. එමෙන්ම තමන් ඝාතනය කිරීමේ කුමන්තරණයක් ඇතැයි සමන් පෙරේරා පසුගිය වසරේ ජූනි මස
පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර ඇතැයිද වාර්තා වන අතර තමන් සමග දේශපාලනය කරමින් සිට දැන් විරසකව සිටින හිමිනමක් තමන් ඝාතනය සඳහා කාන්තාවකට ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බව එම පැමිණිල්ලේ දැක්වේ.

මේ වනවිට  සිද්ධිය පිළිබදව තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්ති රත්න
මහතාගේ උපදෙස් පරිදි බෙලිඅත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.