sanath-nishantha-death-updates

කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කන්ටේනර් රථයේ රියදුරුව පොලිස් භාරයට ගෙන ඇත.
මුලින් වාර්තාවූයේ කන්ටේනර් රථයේ පසුපස මෙම රථය ගැටුණ බව වන නමුත් අලුත්  වාර්තා වලින් කියැවෙන්නේ
 අලුයම 2.00ට පමණ කොළඹ කටුනායක 11/1 R කිලෝමීටර කණුව අසලදී
රාජ්‍ය අමාත්‍යවරයා ගමන්ගත් රථය කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබිය දී කන්ටේනර රථය ඉස්සර කිරීමට යාමේ දී එම රථයේ ගැටී මෙම රථය අධිවේගී මාර්ගයේ  ආරක්ෂක වැටේ ද ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.


 අනතුරින් බරපතල තුවාල ලැබීමෙන් පසු රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු තිදෙනා රාගම රෝහලට රැගෙන ගිය ද රෝහලට රැගෙන යනවිටත් අමාත්‍යවරයා සහ ආරක්ෂකයා මියගොස් සිටි බව වෛද්‍යවරු පවසති.
කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් පසු ඔහුව ඉදිරි පරීක්ෂණ සඳහා යොමු කර ඇත.

අනතුර සිදු වීමෙන් අනතුරුව වැලිසර මහෙස්ත්‍රාත් ධම්මික උඩුවේවිදාණ මහතා රාගම රෝහලට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරනු ලැබීය.රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ හිතවතුන් මැතිඇමතිවරුන් දේශපාලකයින් රැසක් ඇතුළු පිරිසක් රාගම රෝහලට අද පෙරවරුවේ පැමිණ තිබුනි. ඒ අය අතර නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග,මහින්දානන්ද අලුත් ගමගේ,චමල් රාජපක්ෂ, ඩීවී චානක,ප්‍රසන්න රණවීර,අරුන්දික ප්‍රනාන්දු ආදීන්ද විය.

මෙහිදී අමාත්‍යවරයාගේ සොහොයුරු කුරුගමගේ ජගත් සමන්ත පෙරේරා මහතා අමාත්‍යවරයාගේ දේහය
හදුනාගනිමින් සාක්ෂි ලබා දුන්නේය.
සනත් නිශාන්ත අනතුර සිදුවන අවස්ථාවේ බීමත්ව නොසිටින්නට ඇති බවද ඔහු සාමාන්‍යෙයන් මධුවිත පානය නොකරන බවද ජගත් සමන්ත සොයුරා සාක්ෂි ලබාදී ඇත.


අමාත්‍යංශයේ නිලධාරියෙකුගේ දරුවකුගේ කුරුණෑගල පැවති විවාහ මංගල උත්සවයකට හා දෙවනුව  හලාවත බණ්ඩාරවත්ත Nilawin හෝටලයේ පවත්වන්නට යෙදුන ඥාති පුතෙකුගේ විවාහ මංගල උත්සවයකට ඔහු සහභාගීවී නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවිය. දෙවනුව සහභාගීවූ විවාහ උත්සවයේ ඔහු රැඳී සිට ඇත්තේ මිනිත්තු 15 ක් පමණක් බවද වාර්තා විය.

සනත් නිශාන්තට කොළඹ නිවසක් හා ආරච්චිකට්ටුවේ නිවසක් තිබෙන අතර දරු සිව්දෙනා හා බිරිය පදිංචිව සිටින්නේ කොළඹ නිවසේය. සනත් යමින් සිටියේ ඔහුගේ කොළඹ නිවස දෙසටය. සනත්ට ගැහැණු දරුවන් තිදෙනෙකු හා ළාබාල පිරිමි දරුවෙකු සිටී. වැඩිමල් ගැහැණු දරුවාට වයස 12 කි.

දේහය රාගම රෝහලෙන් රැගෙන ආ පසුව මහජන ගෞරවය සදහා 26 දින දහවල් 12 දක්වා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තැබෙනු ඇති අතර අවසන් කටයුතු සඳහා ආරච්චිකට්ටුව නිවසට පසුව රැගෙන යාමට නියමිතය. දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 වන ඉරිදා සිදුකිරීමට සැලසුම් කර තිබේ.