sanath-nishantha-speaks

ප්‍රදේශවාසීන්ගේ විරෝධය හේතුවෙන් රැස්වීමකට සහභාගී වීමට ගිය තමන්ට නැවත හැරී පැමිණීමට සිදුවූ බවට පළවන වාර්තා අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.

පුත්තලම, දළුව ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට ජනතාවගේ විරෝධතාව එල්ලවූ බවට පළවූ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මේ බව සඳහන් කළේය.

පුත්තලම දළුව ප්‍රදේශයේ පිහිටි නිර්මලපුර – නාවක්කාඩු මාර්ගය ලෝක බැංකු ආධාර මත මාර්ගය කාපට් යොදා සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය

පිළිබඳව මූලික අදියරේ සාකච්ඡාවක් පසුගිය සිකුරාදා(19) දළුව ප්‍රදේශයේදී පැවති අතර ඊට රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා ඇතුළු පිරිසක්ද පැමිණීමට නියමිතව තිබුණි.
නමුත් ගංවතුරින් තම ගම්මානයේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වූ අවස්ථාවේදී කිසිඳු දේශපාලඥයෙකු තමන් පිළිබඳව සෙයා නොබැලූ බවට චෝදනා කරමින් සංවර්ධන ව්‍යාපෘතිය සඳහා දේශපාලඥයින් මැදිහත් වීමට ගම්වාසීන් විරෝධය පළ කර තිබුණි.

ගම්වාසින්ගේ මෙම විරෝධය සැලවූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා එම ස්ථානයට නොපැමිණ නැවත හැරී ගොස් තිබු බවට වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,



“ලෝක බැංකු ආධාර ව්‍යාපෘති නතරකිරීමට අරමුණු වුණේ මොකක්ද කියලා මම නිලධාරීන්ගෙන් ඇහුවා. කාපට් කරන කොටස පිළිබඳ වූ සාකච්ඡාවට ජවිපෙට සම්බන්ධ පිරිසක් ඇවිත් වෙනත් පාරක බෝක්කුවක් හදන්න කියලා. පළාත් සභා පාරවල් හදන්න බැහැ කියලා තේරෙන්නේ නැහැනේ. අදාළ ව්‍යාපෘතිය පමණයි ක්‍රියාත්මක කරන්නේ. මාව එලවනවාද නැද්ද කියලා බලන්න මම එතනට ගියේ නැහැ… එය සම්පූර්ණ බොරුවක්.”

“චණ්ඩි එලෙව්වාට අපි බයේ හැරිලා එන්නේ නැහැ. මම ගුටි කාලා එන්නේ නැහැ… ගහලා හිරේ යනවා මිසක්. මම බෙම්පි සිඤ්ඤො නෙමෙයි… මම සනත් නිශාන්ත මිසක් වෙන කවුරුත් නෙවෙයි.”