සෞදි අරාබියේ දමාම්හි ඉදිකිරීම් සමාගමක සේවය කරමින් සිටියදී අනතුරට පත්, නාරම්මල පදිංචි රසින්ත ලියනාරච්චි මහතා අද උදෑසන UL-266 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් රියාද්හි සිට දිවයිනට ගෙන්වා ගත් බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.

දිවයිනට ගෙන්වා ගැනීමෙන් අනතුරුව අද උදෑසන ගිලන් රථයකින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සදහා ඇතුළත් කොට තිබේ.ඔහුගේ ඉදිරි කටයුතු සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සදහා කාර්යංශයේ සභාපතිතුමා විසින් උපදෙස් ලබාදී තිබේ.රසින්ත මහතා දිවයිනට ගෙන්වා ගැනීම සදහා රු.ලක්ෂ 20කට අධික මුදලක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් වැයකොට ඇත.කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි කාර්යංශයේ සභාපති හිල්මි අසීස් මහතා විසින් මෙම ශ්‍රමිකයාගේ තත්වය සොයා බැලීමෙන් අනතුරුව ඔහු වෙනුවෙන් කළහැකි සියළු උපකාරයන් හා සහනයන් ලබාදීමට  නිළධාරින්ට උපදෙස් ලබාදී තිබේ. මෙම ශ්‍රමිකයා දිවයිනට ගෙන්වා  ගැනිමට විශේෂ පහසුකම් සහිත ගුවන් යානයක් අවශ්‍ය වූ බැවින්

සහ ඒ සදහා රු.මිලියන 02 කට අධික මුදලක් වැයකර ඇත.දමාම් වෙත පැමිණෙන ගුවන් යානාවල මෙවැනි රෝගියෙකු රැගෙන යාම සදහා අවශ්‍ය පහසුකම් නොමැති බැවින් දමාම් සිට කි.මී 500ක දුරින් පිහිටි රියාද් වෙත විශේෂ ගිලන් රථයකින් රැගෙන ගොස් එහි සිට ඔහු ශ්‍රී ලංකාවට යැවීමට රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුභසාධන අංශය විසින් කටයුතු යොදා තිබුණි.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී රසින්ත මහතා සේවය කරන ස්ථානයේදී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් ඔහු එරට රෝහලක හදිසි අනතුරු අංශයට ඇතුළත් කොට තිබෙන අතර, මාස 3ට අධික කාලයක් ඔහු ප්‍රතිකාර ලබා තිබේ. වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව රසින්ත මහතා සේවය කළ ආයතනයේ ස්ථානයක නවාතැන් ගෙන සිටියේය. එම කාලය තුල රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිළධාරින් හා  කාර්යංශ නිළධාරින් ඔහුගේ අවශ්‍යතා සොයාබලා තිබේ. එසේම කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා යොමුවූ ශ්‍රමිකයෙකු වන බැවින් ඔහුට හිමි රක්ෂණ වන්දි මුදල් හා අනෙකුත් දීමනා ලබාදීමටද කඩිනමින් කටයුතු සලසා දෙන මෙන් කාර්යාංශ සභාපතිතුමා විසින් නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

රසින්ත මහතා සේවය කළ ආයතනයෙන් රියාල් 16,000ක මුදලක් එනම් රුපියල් ලක්ෂ 13ට අධික මුදලක් ඔහු වෙත ලබාදීමට කටයුතු යොදා ඇති අතර එරට සේවය කරන ශ්‍රමිකයන් සදහා ක්‍රියාත්මක සමාජ සුරක්ෂිතතා සංවිධානයේ අරමුදලින් වන්දි ලබාදීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.