saudi-mother-issue

සොදි අරාබියේ ගෘහ සේවයට ගොස් එහිදී හාම්පුතා සහ එරට රැකියා නියෝජිතවරයා අතින් පහර කෑමට ලක් වී රෝගාතුර වූ ශ්‍රී ලාංකික සිව් දරු මවක ආබාධිතව කටුනායක ගුවන්තොටුපොළට ඊයේ (01දා) උදෑසන පැමිණ සිටියාය.නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි සුරේනි වාසනා  (40) නමැති සිව් දරු මවක මෙම සිද්ධියට මුහුණදී තිබේ.හරිහැටි ඇවිදීමට හෝ කතා කිරීමට තරම් හෝ සෞඛ්‍ය තත්ත්වයෙන් නොසිටි ඇය ගුවන්තොටුපොළේ දී මෙසේ පැවසුවාය.

"අපේ පවුලේ පවතින ආර්ථික අගහිගතා තවදුරටත් ඉවසා ගනු බැරි නිසා 2022 වසරේ  දෙසැම්බර් 06 වැනිදා ගෘහ සේවයට සොදි අරාබිය බලා පිටත් වුණා. එහිදී මම සේවය කළේ සොදි අරාබියේ අල් අසාද් ප්‍රදේශයේ නිවෙසක. ඒ ගෙදර බාබා ව්‍යාපාරිකයෙක්.

ඔහු මම ඒ ගෙදර සේවය කරමින් සිටින අතර කිසිවෙකුත් නොසිටි, ජුනි මාසයේ දිනයක මා අපයෝජනය කිරීමට සැරසුණා. මම එයට විරුද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි මම ඔහුට පහර දී පන්නා ගත්තා.මේ අතර ටික කලකින් මට උණ රෝගය වැලඳී හුගක් අමාරු වූ නිසා මට වැඩ කරන්න අපහසු වුණා. ඒ අවස්ථාවේ ඒ ගෙදර සිටි බාබා මට ගහල එරට රැකියා නියෝජිත ආයතනයට ගෙනැවිත් දැම්මා.ඒකෙ හිටිය සුල්තාන්වරයා මට හොදටම ගහල, මගේ ඔළුව තුන් පාරක් බිත්තියේ හැප්පුවා, මට සිහිය නැතිව ගියා.මාව මැරයි කියලා හිතාගෙන ඔවුන් විසින් ඒ ප්‍රදේශයේ රෝහලට ඇතුළත් කළා. එහිදී මගේ හිසට මැහුම් දමා තිබුණා. එහි මාස කීපයක් ඔත්පළව දැඩි සත්කාර ඒකකයේ රඳවා තබා ගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා.”

ඇය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට මැදිහත් වී කටයුතු කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කවුන්සිලයේ සභාපති ආචාර්ය සරත් පීරිස් මහතා සඳහන් කළේ මැදපෙරදිග

බොහෝ හාම්පුතුන් පහර දීමේදී සාක්ෂි වසන් කිරීමට ගෘහ සේවිකාවන්ගේ හිසට පහර දීම සිදු කරන බවයි.මෙම කාන්තාව මීගමුව මහ රෝහලට ඇතුළත් කර වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බව පැවසූ සරත් පීරිස් මහතා මෙම කාන්තාව නීත්‍යනුකූලව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී කොළඹ මරදාන ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයක් මගින් සෞදි අරාබිය වෙත ගොස් ඇති බවත් ඇයට සිදු වී ඇති ශාරීරික හානි පිළිබඳව වන්දි මුදලක් අය කර දීමට ද කටයුතු කරන බව ද පැවසීය.
සුරේනි වාසනා මහත්මියගේ සැමියා, ශ්‍රී ලංකා මානව හිමිකම් ආයතනයේ පිරිසක් ද ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.

කටුනායක ටී.කේ.ජී.කපිල