සෞදියේ රියාද්හි ගෘහ සේවයට මීට මාස හයකට පමණ විදෙස් ගත වූ මැදිරිගිරිය, දිවුලන්කඩවල දෙදරු මවක ඇය සේවය කරමින් සිටි නිවෙසේ ගෑස් සිලින්ඩරය පුපුරා යාමෙන් මියගොස් ඇතැයි ඇගේ ඥාතීහු කියති.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ මැදිරිගිරිය, දිවුලන්කඩවල පදිංචි පී. දිල්මි මධුභාෂිණි කුමාරි නමැති 26 හැවිරිදි දෙදරු මවකි.
පවුලේ ඇති දැඩි ආර්ථික අපහසුතාවලින් මිදීම සඳහා මීට මාස හයකට පමණ පෙර මෙම කාන්තාව ගෘහ සේවයට ගොස් ඇත.
විදෙස්ගතව දින කීපයකට පසු සිය ඥාතීන්ට දුරකතන ඇමතුමක් දුන් ඇය පවසා ඇත්තේ සේවය කරන නිවෙසේ සිටින රියැදුරා ඇයට කරදර කරන බවය. ඇයට ලිංගික අඩන්තේට්ටම් කිරීමට උත්සාහ කරන බව ද පවසා ඇත.
විදෙස්ගත වූ දින සිට මෙම කාන්තාව සතියකට හෝ දෙකකට වරක් නිවැසියන් සමග දුරකතනය ඔස්සේ කතා කර ඇති අතර ඒ සෑම අවස්ථාවකම කතා කිරීමට වැඩි කාලයක් නොගත් බවත් නිවෙසේ වැඩ බහුල බව සැමියාට පවසා ඇත.
අවසන්වරට පසුගිය දෙසැම්බර් මස 8 වැනි දා සිය සැමියාට දුරකතන ඇමතුමක් ලබාදී ඇති අතර, ඉන් පසුව ඇය නිවැසියන්ට කතා නොකිරීම නිසා නිවැසියන් විසින් ජනවාරි නව වැනි දා මේ බව විදේශ සේවා නියුක්ති කාර්යංශයට දැනුම් දී ඇත.
එහි දී මොවුන්ට දැනගැනීමට හැකි වී ඇත්තේ මීට සතියකට පමණ පෙර ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් මෙම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඇගේ විදෙස් ගමන් බල පත්රය සහ අනිකුත් ලිපි ලේඛන සියල්ල මැදිරිගිරිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ අදාළ නිලධාරියාට බාර දෙන ලෙස විදෙස් සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් නිවැසියන්ට පවසා ඇත. ඒ අනුව එම ලිපි ලෙඛන සියල්ල ලබා දී ඇත.
මියගිය කාන්තාවගේ මළ සිරුර නැවත ලංකාවට ගෙන්වා ගැනීමට මොවුනට කිසිදු මුදලක් වැය කළ නොහැකි බවත් ඇගේ සිරුර කෙසේ හෝ ගෙන්වා දෙන්නැයි නිවැසියෝ ඇවිටිලි කරති.
මෙම මවට අවුරුදු 10 රෝගී දරුවෙක් සහ වයස අවුරුදු දෙකකට ආසන්න කුඩා දැරියක් ද සිටිති. සැමියාට ද ස්ථීර රැකියාවක් නොමැති අතර ඔහු කුලියක් කර දරුවන්ගේ කුස පුරවයි. දරුවෝ දෙදෙනා මියගිය කාන්තාවගේ මවගේ ආරක්ෂාව යටතේ රැකවරණය ලබති.
මැදිරිගිරිය චාපා මධුභාෂිණි
0 Comments