singer-fake-fraud

ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක රියැලිටි ගායන වැඩසටහනකට සහභාගි වන ලියුකේමියා රෝගී ගායන ශිල්පියකුගේ බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂ තිස් අටක් වංචනිකව ලබාගත්තේ යැයි කියන අක්කා, නගෝ සහ ඒ දෙදෙනාගේ මවගේ අනියම් සැමියා බව කියන අයකු රුපියල් ලක්ෂ විස්ස බැගින් වූ ශරීර ඇප හයක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (2 වැනිදා) නියෝග කළේය.



බැංකු ගිණුමෙන් ලබාගත් මුදල් රුපියල් ලක්ෂ පහ බැගින් මාසිකව ගෙවීමට හැකි බවට පළමු සැකකාර පුද්ගලයා අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙසේ ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා, සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටිය යුතු බවට නියෝගයක් ද නිකුත් කළේය.

මෙසේ ඇප මත නිදහස් කෙරුණේ, ජනක ප්‍රසාද්, සුවතා නෙක්මී පෙරේරා සහ සෙව්වන්දි මදුශානි පෙරේරා යන තිදෙනාය.

ප්‍රසිද්ධ දැන්වීම් පළ කර, මහජන ආධාර පතන පිළිකා රෝගීන්ගේ ගිණුම්වලට ඇතුළත් වී රුපියල් ලක්ෂ 250කට ආසන්න මුදලක් සැකකරුවන් වංචා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවැසුවේය.

ආධාර ඉල්ලා දැන්වීම් පළ කරන පිළිකා රෝගීන්ට දුරකතන ඇමතුම් දී,

මුදල් ආධාර ලබාදෙන බවට පවසා, ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු ලබාගෙන, එම තොරතුරු භාවිත කරමින් මෙම වංචාව කර ඇති බව පැවැසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, සැකකරුවන් එම මුදල් වෙනත් බැංකු ගිණුම්වලට යොමු කර, ඉන්වොයිස් මගින් රත්රන් භාණ්ඩ මිලදී ගැනීම සහ කිව්ආර් කේත මගින් භාණ්ඩ මිලදී ගැනීම කර ඇතැයි ද ප්‍රකාශ කළේය. මේ පිළිබඳ විමර්ශන අවසන් කර නොමැති බව ද අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව, සැකකරුවන් බන්ධනාගාරගත කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාවරයා සැකකරුවන්ට ඇප නියම කරමින්, වැඩිදුර විභාගය මැයි මස 9 වැනිදාට කල් තැබීය.

 රෝෂන් තුෂාර